Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා පිල වෙනස්කමක් සමග හෙට තරග බිමට
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ශ්‍රී ලංකා පිල වෙනස්කමක් සමග හෙට තරග බිමට

editorial - 2023 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේ සිට..)

පිට පිටම තරග 3 ක් පරාජයට පත්ව ජයග්‍රහණයක පිපාසයකින් පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම, එක් වෙනස්කමක් සමග හෙට (21 වැනිදා) ‍පෙරවරු 10.30 ට ලක්නව් නුවර ඒකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නෙදර්ලන්තයට එරෙහිව තරග බිමට අවතීර්ණ වනු ඇත. පාකිස්තානය සහ නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ නෙදර්ලන්තය, මෙම තරගයට පිවිසෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව පෙරළිකාර ජයක් ලැබීමෙන් අනතරුවය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ඕවර 4 ක් යවමින් ලකුණු 47 ක් ලබාදුන් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමිවනු ඇතැයි වාර්තා වේ. එසේ වුවහොත් ඔහු වෙනුවට ආදේශ කිරීම සඳහා සංචිතය තුළ යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන්නේ තවත් පන්දු යවන්නන් දෙදෙනකු පමණි. ඒ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තය.

ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වන මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ මෙන්ම අතිරේක දඟ පන්දු යවන්නන් ලෙස යොදාගත හැකි ධනංජය ද සිල්වා සහ චරිත් අසලංකද කණ්ඩාය‍මේ 11 දෙනා අතර සිටින බැවින් තවත් දඟ පන්දු යවන්නකුට කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීමට ඇති ඉඩ කඩ ඉතා අඩුය. එබැවින් ‍අද තරගයේදී ළහිරු වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට එක්වීමට වැඩි ඉඩක් තිබේ.

සංචිතයට ඇතුළත්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මේ වන විට ආබාධයකට ලක්ව සිටියද, ඔහු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු අදේශ කිරීම සඳහා තවමත් තරගාවලියේ තාක්ෂණික කමිටුවෙන් අවසර ඉල්ලා නැතැයි කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කළේය. ඔහු ඒ බව කියා සිටියේය තරගයට පෙර දිනයේදී පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසිය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදීය.

“මතීෂගේ ආබාධ තත්වය තවම සුව අත‍ට හැරිලා නෑ. එයා දැනට දවස් 10 පුනුරුත්තාපන ක්‍රියාවලියකට ලක්වෙමිනුයි ඉන්නෙ. තව දවස් 3 ක් 4 ක් යනකොට ඒ ක්‍රියාවලිය අවසන් වෙනවා. ඊට පස්සෙ තමයි අපිට කියන්න පුලුවන් වෙන්නෙ ඔහුට ක්‍රීඩා පුලුවන්ද නැද්ද කියලා. දැනට අපි එයාව තේරීම් කටයුතු සඳහා සලකා බලන්නේ නෑ. ඒ වගේම ඔහු වෙනුවෙන් තවම ආදේශ කිරීමක් ඉල්ලලත් නෑ.” යැයි නවාස් මහතා පැවසීය.

තරගයට පෙර දිනයේ පැවැති පුහුණු සැසිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනාටම අනිවාර්ය කර නොතිබූ අතර ක්‍රීඩකයන් 5 දෙනෙක් පමණක් ඊට සහභාගි වී සිටි අයුරු දැකගත හැකිවිය. අබාධ තත්වය සුවවීම සඳහා සති තුනක පමණ ‍කාලයක් ගතවන බව කී නායක දසුන් ශානක, පිට පිටම දෙවැනි දිනයේදීත් පුහුණුවීම් සඳහා සහභාගි වූ අතර ඔහුට අමතරව පුහුණු සැසියට එක්ව සිටියේ ළහිරු කුමාර, දුෂාන් හේමන්ත, කුසල් ජනිත් සහ චාමික කරුණාරත්න පමණි.

“දසුන් මේ වන විට ආබාධ තත්වයෙන් සුව වෙමින් ඉන්නේ. ඊයේ එයා පුහුණුවීම් පටන් ගත්තා. සංචිතයෙන් ඉවත් වුණත්, එයාගෙ ආබාධය 100% ක්ම සුව වුණාම නැවතත් සංචිතයට ඇතුළත් කරගැනීමේ අරමුණින් තමයි තවදුරටත් එයාව ලංකාවට යවන්නෙ නැතුව අතිරේක ක්‍රීඩකයෙක් විධියට මෙහෙ තියාගෙන ඉන්නෙ.” යැයි දසුන් දිගට සංචිතය සමග රඳවාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවාස් මහතා කියා සිටියේය.

මේ අතර අතිරේක ක්‍රීඩකයන් ලෙස රඳවාගැනීම සඳහා ඉන්දියාවට කැදවූ ඇන්ජලෝ මැතිව්ස්ට සහ දුෂ්මන්ත චමීරට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩක් නොලැබෙන බවද නවාස් මහතා තහවුරු කළේය. ඉදිරියේදී යම් ක්‍රීඩකයකු අබාධයකට ලක්වී සංචිතයෙන් ඉවත් වුවහොත් ඒ වෙනු‍වට ආදේශ කිරීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් දෙදෙනා ඉන්දියාවට ගෙන්වා ඇතැයිද එහිදී නවාස් මහතා සඳහන් ‍කළේය.

“ඉන්දියාවට ආවට ඔවුන්ට ‍(මැතිව්ස් සහ චමීර) මේ තරගයට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්නෙ නෑ. මොකද ඔවුන් තවමත් ප්‍රධාන සංචිතයට ඇතුළත් වෙලා නෑ. දැනට ඔවුන් ඉන්නෙ අතිරේක ක්‍රීඩකයන් විධියට. එයාලගෙන් එක්කෙනෙක් හරි ප්‍රධාන සංචිතයට ඇතුළත් කරගන්න නම් ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වෙලා සංචිතයෙන් ඉවත් වෙන්න ඕන. ඒකට තාක්ෂණික කමිටුවෙ අනුමැතිය ලැබෙන්නත් ඕන.” යැයි නවාස් මහතා වැඩි දුරයටත් පැවසීය.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර මේ දක්වා ‍එක්දින ජාත්‍යන්තර තරග 5 ක් පැවැත්වී ඇති අතර එම තරග‍ 5 ම ජයගැනිමට ශ්‍රී ලංකාව සමත්වී ඇත. ඉන් තරග දෙකක්ම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග විය. කෙසේ වුවත් එක්දින ලෝක කුසලාන තරගාවලියේදී මෙම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව තරග වදින පළමු අවස්ථාව මෙය වනු ඇත.

 

ශ්‍රී ලංකාව
කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ළහිරු කුමාර, දිල්ෂාන් මධුෂංක සහ චාමික කරුණාරත්න

නෙදර්ලන්තය
ස්කොට් එඩ්වඩ්ස් (නායක), වික්‍රම්ජීත් සිං, මැක්ස් ඕ’ඩොව්ඩ්, කොලින් ආක්මන්, බස් ඩි’ලීඩ්, සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට්, තේජා නිදමනුරු, ලෝගන් වැන් බීක්, රොලෝෆ් වැන්ඩර් මර්ව්, ආර්යන් දත්, පෝල් වැන් මීකෙරෙන්, වෙස්ලි බරේසි, රයන් ක්ලීන්, ශරිස් අහමඩ් සහ සකීබ් සුල්ෆිකර්


අදහස් (0)

ශ්‍රී ලංකා පිල වෙනස්කමක් සමග හෙට තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.