Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා පිතිකරුවෝ පිඹුරු දඩයම් අපේක්‍ෂාවෙන්
පළමු ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා පිතිකරුවෝ පිඹුරු දඩයම් අපේක්‍ෂාවෙන්

editorial - 2023 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

සිංහල අවුරුදු නැකත් සීට්ටුව අනුව, ශ්වේත වර්ණ ඇඳුමින් සැරසී, රැකී රක්‍ෂා සඳහා පිටත්ව යාමට නියමිතව ඇත්තේ 17 වැනි සඳුදා පෙරවරු 6.28 ටය. එහෙත් දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවර නම්, ශ්වේත වර්ණ ඇඳුමින් සැරසී නමුත්, නැකත් වෙලාවට දින දෙකකටත් කලින්ම රැකියාවට ගොස් සිටිති. අයිස් පෙට්ටියෙන් ගිනි උඳුනට (හිරිගඩු පිපෙන හීතල නවසීලන්තයේ සිට දෑස් දවන දාහයෙන් යුත් ශ්‍රී ලංකාවට) පිවිස සිටින දිමුත් කරුණාරත්න ඇතුළු පිරිවර 14 වැනිදා නැකත් වේලාවේදීත් ගාල්ල ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරමින් සිටියහ. 

“අපි නම් වැඩට ඇවිත් ගොඩක් දවස් වෙනවා.... නවසීලන්තෙ ඉඳල ආවෙ 24 වැනිදා. ඊට පස්සේ 27 වැනිද ඉඳළම පුහුණුවීම් පටන් ගත්තා. මොකද නවසීලන්තෙයි මෙහෙයි තියෙන කාලගුණය, තණතීරු එහෙම බැලුවාම මේක අති විශාල වෙනසක්. 

“අපි දන්නවා අපේම තත්ත්වයන් තමයි... ඒත් අපි වුණත් ආයෙම ඒකට හුරු වෙන්න ඕනේ”

“මොකද මේ වගේ තරගාවලියකට සූදානම් වීම ගොඩාක් වැදගත්. ඒ හින්දා අපි කොළඹදි ගොඩාක් පුහුණුවීම් කරලා, 13 වැනිදා ඉඳන් මෙහෙ පුහුණුවීම් කළා” යයි දිමුත් කරුණාරත්න අද පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් විසින් ‘සුදු හූරා’ යයි  මහත් ආදරයෙන් ආමන්ත්‍රණය කරන ලද දොස්තර ආර්. එල්. ස්පිට්ල් මහතා සිය වනගත චාරිකාවන් සඳහා දින යොදාගනිද්දී අප්‍රේල් මාසය ඒ වෙනුවෙන් යොදා නොගැනීමට පරෙස්සම් විය. ඊට ප්‍රධාන හේතුවක් වූවේ සිංහල අලුත් අවුරුදු උත්සව සමයේදී තමන්ගේ සහායට සිංහල සේවකයන් නොපැමිණෙන බැවිනි. 

එහෙත් වර්තමානය වාණිජ ඒකාධිකාරයකි.  

“මේක අපේ රැකියාව. ඉතිං අපට නැකත් බලනවාට වඩා අපේ රැකියාව වටිනවා”

“අපේ පළමු වැනි තේරීම ක්‍රිකට් ක්‍රීඩාව. අපට ලැබිල තියෙන කාල වේලාවත් එක්ක අපි ඒකට වැඩි අවධානයක් දෙන්න ඕනා. අපි ඊයෙත් (14 වැනිදා) නැකත් වෙලාවේ මෙතන පුහුණුවීම් කරමින් හිටියේ. පස්සේ හෝටලේට ගිහිල්ලා හෝටලේ කට්ටියත් එක්ක අවුරුදු සැමරුවා”

“ඒ දේවල් ඉවරයි. දැන් අපිට තියෙන්නේ 16 වැනිදා උදේ තරගයට මුහුණ දෙන්නේ කොහොමද ?, මොනවද අපට කරන්න තියෙන්නේ ? කියලා බලන්නයි” යයි අයර්ලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියට සූදානම් වෙමින් සිටියදී සිංහල අවුරුද්ද දවස (14 වැනිදා) ගෙවුණේ කොහොමද යයි කළ විමසීමකදී දිමුත් පැවසීය.  

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පළමු ටෙස්ට් තරගය හෙට (16 වැනිදා) ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. දෙරට අතර මේ දක්වා කිසිම ටෙස්ට් තරගයක් පැවැත්වී නැති අතර 2017 දී ටෙස්ට් වරම් හිමිකරගත් අයර්ලන්තය මෙතෙක් සහභාගි වූ ටෙස්ට් තරග 4 ම පරාජය වී තිබේ. 

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය අලුත්ම එකකි. එහෙත් ආරම්භක පිතිකරුවන් 10 ක් 12 ක් එක්ක ක්‍රීඩා කරඇති, පළපුරුදු ආරම්භක පිතිකරුවකු වන දිමුත්ට තවත් අලුත් සගයකු වන නිශාන් මධුෂ්ක එක්ක ක්‍රීඩා කිරීම අලුත් අත්දැකීමක් නෙමේ. 

“සධීරත් මාත් එක්ක ‘ඒ’ තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කරලා තියෙනවා. ඔහු දක්‍ෂ ක්‍රීඩකයෙක්. අවුරුදු 6 කට විතර පස්සේ නැවතත් අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. මා හිතනවා සධීරත් අවස්ථාවක් ලැබුණ වෙලාවෙ උපරිම ප්‍රයෝජන ගනීවි කියලා. එයාට දැන් ඒ දැඩි ආශාව තියෙනවා” යයි කණ්ඩායමට එක්වූ අලුත්ම කඩුලු රකින්නා සම්බන්ධයෙන් දිමුත් පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය 7 : 4 කි. පිතිකරුවන් 7 දෙනකු සහ පන්දු යවන්නන් 4 දෙනෙකි. 

ප්‍රනාන්දුලා දෙදෙනා වන අසිත සහ විශ්ව වේග පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක්වන අතර ඕස්ටේ්‍රලියානු සහ පාකිස්තානු කණ්ඩායම් වලට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරග වලදී වැඩිපුර කඩුලු දවාගත් ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනාට කෙරෙහි හෙට තරගයේදීත් විශ්වාසය රැඳවෙනු ඇත. 

දකුණත් පා දඟ පන්දු යවන්නා වන දුෂාන් හේමන්තට හෙට තරගයේදී අවස්ථාවක් ලැබීම අල්ප වන නමුත් දෙවැනි තරගයේදී අවස්ථාවක් ලැබිය හැකිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් සිටින්නේ, අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, පළපුරුද්දෙන් අඩු අයර්ලන්ත පන්දු යවන්නන් හමුවේ පිඹුරු දඩයමේ යෙදීමේ අපේක්‍ෂාවෙනි. 

“අපි සෙල්ලම් කරන්නේ අයර්ලන්තය එක්ක වේවා, වෙනත් කණ්ඩායමක් එක්ක වේවා, හැම පිතිකරුවෙක්ම බලන්නේ උපරිම ලකුණු සංඛ්‍යාවක් වගේම කඩුලු සංඛ්‍යාවක් ලබාගන්නයි. ඒකම තමයි කණ්ඩායමේ වාසියට හිටින්නෙත්. ඒ හින්දා අයර්ලන්තය කියලා වෙනසක් නෑ. මුලින්ම අපි අපේ මූලික දේවල් කරන්න ඕනේ හරි තැනට එන්න”

“මූලිකත්වය දෙන්න ඕනේ තරගය දිනන්නයි. ඊට පස්සේ තමයි අපේ ඉලක්ක වලට යන්න ඕනේ..” යයි දිමුත් කරුණාරත්න පැවසීය. 

ශ්‍රී ලංකා කණ්ඩායම 
දිමුත් කරුණාරත්න (නායක), නිශාන්  මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා), රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය

අයර්ලන්ත කණ්ඩායම
මරේ කොමින්ස්, ජේම්ස් මැකලම්, ඇන්ඩි බැල්බිරින් (නායක), හැරී ටෙක්ටර්, පී.ජේ. මුවර්, කර්ටිස් කැම්පර්, ලෝකන් ටකර් (කඩුලු රකින්නා), මාක් ඇඩෙයාර්, අන්ඩි මැක්බ්‍රයින්, ග්‍රැහැම් හූම් සහ බෙන් වයිට්

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිතිකරුවෝ පිඹුරු දඩයම් අපේක්‍ෂාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.