Last Update  :  2025-07-09 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවට ලකුණු 99 ක දැවැන්ත ජයක්
තුන්වැනි එක්දින තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 99 ක දැවැන්ත ජයක්

editorial - 2025 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..)

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹයත්, කලකට පසුව දක්නට ලැබුණු දුෂ්මන්ත චමීරගේ අලංකාර පන්දු යැවීමත් නිසා අපහසුවකින් තොරවම බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පල්ලෙකැළේදී ලකුණු 99 ක ජයක් අත්කර ගත්හ. අද (8 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලබාගත් ජයත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගත්හ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩඉම් තරගාවලියක් වූ වසර 2023 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සහභාගි වූ එක්දින තරගාවලි 9 කින් තරගාවලි 7 ක්ම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ. ඒ අතරතුර පරාජය වී ඇත්තේ නවසීලන්තයේදී සහ බංග්ලාදේශයේදී පැවැති තරගාවලි දෙකක් පමණි. 

පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ලකුණු 286 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 39.4 ක් නිමාවේදී ලකුණු 186 කට දැවී ගියේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු (33/3) සහ දුෂ්මන්ත චමීර (57/3) දෙදෙනා හමුවේ අසරණව ගිය බංග්ලාදේශ පිල වෙනුවෙන් වාර්තා වූයේ තව්හීද් රිදෝයිගේ අර්ධ ශතකය පමණි. තව්හීද් රිදෝයි හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 30 සීමාවට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් අවසරයක් නොලැබිණ. 

ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ඉහළම මට්ටමක තිබුණු අතර බංග්ලාදේශය ලබාගත් ලකුණු 186 න් ලකුණු 40 කට ආසන්න ප්‍රමාණයක් පන්දුව පිත්තේ වැදී කඩුල්ල පිටුපසින් ගලා ආ ලකුණු විය. 

චරිත් අසලංකගෙන් කුසල් මෙන්ඩිස්ට ලැබුණු පරිණත සහයෝගය නිසා ශ්‍රී ලංකා පිතිකරුවෝ බංග්ලාදේශ පන්දු යවන්නන් මෙල්ලකර ගත්හ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 285 ක් ලබාගත්තේය. 

ශ්‍රී ලංකා ඉනිමට නිළකුණු පන්දු 147 ක් ඇතුළත් වූ නමුත් එයට හතරේ පහර 38 ක් ඇතුළත්වීම හේතුවෙන් නිළකුණු පන්දු වල බලපෑම නිෂේධ වී තිබිණ. විශේෂයෙන්ම පරාජය වූ දෙවැනි එක්දින තරගයේදී කළ අනුවණකම් නොකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ තමන්ගේ කඩුලු නිකරුණේ වීසිකර නොදැමූහ. 

දෙවැනි එක්දින තරගයේදී පන්දු 20 කින් ලබාගත් අර්ධ ශතකය හා සැසඳීමෙදී කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය බෙහෙවින් ස්ථාවර මෙන්ම වගකීමෙන් සපිරුණු ඉනිමක් විය. එහෙත් දුර්වල පන්දුව දුටු තැනදීම ඊට නිසි පිළිතුරු දීමට කුසල් අමතක නොකළේය. 

කුසල් මෙන්ඩිස් ලකුණු ලබාගැනීම ආරම්භ කළේ මුහුණ දුන් පළමු පන්දුවම ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපය හරහා හතරේ සීමාවට යවමිනි. ආරම්භයේ සිටම පැතුම් නිස්සංකට වඩා තරමක් වේගයෙන් ලකුණු ලබාගත් කුසල් මෙන්ඩිස්, ප්‍රහාරාත්මක ඕවර 10 දී හැකිතරම් ලකුණු සංඛ්‍යාවක් එකතුකර ගැනීමට පසුබට නොවීය.  පන්දු 58 කින් පැමිණි මෙන්ඩිස්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත්ව තිබිණ. 

අර්ධ ශතකය ලබාගත් නමුත් කලබල නොවූ අංක 3 පිතිකරුවා, සිය නායකයා වූ චරිත් අසලංකට විශිෂ්ට සහයෝගයක් දෙමින් පන්දු යවන්නන්ට හිස් එසවීමට අවසර නොදුන්නේය. අසලංක ද කුසල්ට නොදෙවනි අන්දමින් පන්දු යවන්නන් පාලනය කරගනිමින් පන්දු 60 කින් ලකුණු 58 ක් ලබාගත්තේ හතරේ පහර 9 කින් සිය ඉනිම සරසාලමිනි. 

මෙහෙදි හසන් මිරාස්ගේ පන්දුවක් මිඩ් ඕන් කලාපයට තල්ලු කරමින් තනි ලකුණක් ලබාගැනීමත් සමගින් සිය 6 වැනි එක්දින ශතකය සම්පූර්ණ කළ කුසල් මෙන්ඩිස් ශතකය ලබාගැනීමෙන් පසුව වුවද කලබල නොවී සිය පිතිහරඹය කරගෙන ගියේය. මේ අතරවාරයේදී නායක චරිත් අසලංක හතරේ පහර 9 ක් සමගින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. 

අසලංක සහ කුසල් මෙන්ඩිස් අතර සම්බන්ධතාව බිඳී ගියේ ටස්කින් අහමඩ්ගේ දුර්වල පන්දුවකිනි. ලකුණු වේගය වැඩිකරගනිමින් සිටි මොහොතක පිත්තටම ලැබුණු ටස්කින්ගේ පන්දුව පහරකට ආරාධනා කළේය. වැරැද්ද වූයේ ගුවනේ ඉහළට ඇදුණු පන්දුව යටට මෙහෙදි හසන් මිරාස් පැමිණීමයි. 

මේ දක්වා එක්දින තරග 22 කට සහභාගි වී ඇතත් කමිඳු මෙන්ඩිස් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් පමණි. එහෙත් කමිඳුගේ පිතිහරඹ ශක්‍යතා අනුව එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එය කමිඳුත් දන්නා කරුණක් වූවත්, ඔහුගේ ප්‍රශ්නය ඇත්තේ තම එක්දින වාර්තාව ඉහළට ගෙන යාමට ගන්නා අතිරේක උත්සාහය නිසා තමන් වෙතම ඇතිකරගන්නා පීඩනය මත විය හැකිය. 

කමිඳුගේ කුලකයේ පිතිකරුවකුට මෙම පීඩනයෙන් මිදීමට අවශ්‍ය වන්නේ එක හොඳ ඉනිමකි. එතැන් සිට ලකුණු ගංගාව ආරම්භ වනු ඇත. ඒ වෙනුවෙන් තව ටිකක් කල් ඉවසීමෙන් බලාසිටිය යුතු වෙයි. 

(ඡායාරූප - ගයාන් අමරසේකර)


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 99 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.