Last Update  :  2025-07-09 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features පිතිකරු ලයිස්තුවේ අංක 4 අවිශ්කට
විස්සයි-20 තරගාවලිය

පිතිකරු ලයිස්තුවේ අංක 4 අවිශ්කට

editorial - 2025 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට....)

වසරට පසුව දසුන් ශානකත්, වසර දෙකකට පසුව චාමික කරුණාරත්නත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට කැඳවා තිබේ. එහෙත් ශ්‍රී ලංකා පිලේ වැඩි අවධානය යොමු වී ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දු වෙතය. කලක් විස්සයි-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාව සිටි අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ස්ථානයට කැඳවමින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී ඔහුගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවයි. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 වැනිදා) පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. හෙට පස්වරු 7.00 ට ආරම්භ වන තරගය ශ්‍රී ලංකාවේ විස්සයි-20 අන්තර්ජාතික තරග අතරේ 204 වැනි තරගයයි. 

පහසුවෙන්ම දිගු ඉනිමක් කරා යාමේ ශක්‍යතාවකින් යුත් පිතිකරුවකු වන අවිශ්ක ප්‍රනාන්දු විස්සයි-20 තරග 37 කදී ලබා ඇත්තේ ලකුණු 363 ක් පමණි. විස්සයි-20 ඉනිමකදී ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව 37 කි. මෙම තරග 37 න් තරග 17 කදීම ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කර ඇති අවිශ්ක ප්‍රනාන්දු තවත් තරග 8 කදී අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිස තිබේ. 

එය එසේ වුවත්, පසුගිය වසරේ පැවැති එල්.පී.එල්. තරගාවලියේදී ජැෆ්නා කිංග්ස් පිල වෙනුවෙන් අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු තරගාවලියේ සාර්ථකම පිතිකරුවා විය. එම තරගාවලියේදී අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ අවිශ්ක ලකුණු 374 ක් ලබාගත්තේ ඉනිමකදී ලකුණු 37.40 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම තරගාවලියේදී අවිශ්කගේ පන්දුවට පහර දීමේ ප්‍රවේගය (ප්‍රහාරාත්මක වේගය) පන්දු 100 ක් සඳහා ලකුණු 162.60 ක් විය. 

“අපි අවිශ්කව කණ්ඩායමට ගෙනාවේ අංක 4 ස්ථානය ඉලක්ක කරගෙනයි. එයා එල්.පී.එල්. තරගාවලියේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා.” යයි ශ්‍රී ලංකා විස්සයි-20 නායක චරිත් අසලංක අද (9 වැනිදා) සවස පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

වසර 2020 දී ආරම්භ වූ එල්.පී.එල්. තරගාවලියේ මේ දක්වා ඉහළම ලකුණු ලබාගත් පිතිකරුවා ද වන අවිශ්ක ප්‍රනාන්ද, එල්.පී.එල්. ඉතිහාසයේ තරග 50 කදී ශතකයක් සහ අර්ධ ශතක 14 ක් සමගින් ලකුණු 1544 ක් ලබා තිබේ. 

“විස්සයි-20 ජාතික කණ්ඩායම තෝරා ගැනීමේදී අපේ නිර්ණායකය වෙන්නේ එල්.පී.එල්. තරගාවලියයි. අවිශ්ක කලින් ආරම්භක පිතිකරුවා වෙන්න ඇති. ඒත් දැන් එයාගේ  භූමිකාව වෙනස් වෙලා තියෙන්නේ... ”

“එයාගේ දැන් භූමිකාව වෙන්නේ අංක 4 පිතිකරුවා වීමයි” යයි ද චරිත් අසලංක අවධාරණය කර සිටියේය. 

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරුවා වන තිළිණ කණ්ඩම්බි, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවා ද වන බැවින් අවිශ්ක ප්‍රනාන්දු සම්බන්ධයෙන් පැහැදිළි වැටහීමක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබේ. 

කණ්ඩායමට නැවත කැඳවන ලද දසුන් ශානක සහ චාමික කරුණාරත්න දෙදෙනා අංක 6 සහ 7 ස්ථාන අත්පත් කරගැනීමට සූදානමින් සිටිති. දසුන්ට පිතිකරුවකු ලෙසින් වැඩි බරක් යොමුවන අතර චාමිකට පන්දු යවන්නකු ලෙසින් වැඩි බරක් කරගැසීමට සිදුවනු ඇත. දසුන්ගේ ස්ථානය, අවස්ථාවේ ස්වභාවය අනුව, පිතිකරු ලයිස්තුවේ එහාට මෙහාට වීමටත් ඉඩ තිබේ. 

කෙසේ වෙතත් ඉනිම අග්ගිස්සේ පිහිටි අවසන් ඕවර 4 සම්බන්ධ ගනුදෙණුව මේ දෙදෙනාට බාරය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය වන්නේ 7 වැනි කඩුල්ල බිම වැටෙන්නට පෙර ඉනිම අවසන් කිරීමයි. 

වනිඳු හසරංග කලව පිටුපස මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් වී සිටී. එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවකි. 8 වැනිදා පැවැති එක්දින තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී කලව පිටුපස මස්පිඬුවේ ආබාධයට ලක්වූ නමුත් වනිඳු හසරංග අසීරුවෙන් පන්දු යවමින් කඩුලු දෙකක් ද දවාගත්තේය. එහෙත් එවන් ආබාධයක් සහිතව විස්සයි-20 වැනි වේගවත් තරගාවලියකට පිවිසීම අසීරු හෙයින් වනිඳු සංචිතයෙන් ඉවත් වී නැවතත් කොළඹ බලා පැමිණ තිබේ. 

වනිඳුගේ ස්ථානයට ජෙෆ්රි වැන්ඩසේට පිවිසෙනු ඇත. 

ශ්‍රී ලංකා සංචිතයේ සිටින වේග පන්දු යවන්නන් සිව් දෙනාගෙන් බිනුර ප්‍රනාන්දු හැරෙන්නට මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග තිදෙනාම අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළෝ වෙති. එහෙත් බිනුර යනු විස්සයි-20 ක්‍රීඩාවේ සිටින වේග පන්දු යවන්නන් අතරේ සිටින හොඳම වමත් වේග පන්දු යවන්නාය. 

එක්දින තරග මෙන් නොව විස්සයි-20 ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පරතරය එතරම් විශාල නොවේ. ශ්‍රී ලංකා 7 වැනි ස්ථානයේ සිටින අතර බංග්ලාදේශය 10 වැනි ස්ථානයේ සිටියද දෙපිල අතර පරතරය ප්‍රසාද ලකුණු 17 කි. 

වසරකට ඉහතදී එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව 7 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට 5 වැනි ස්ථානය දක්වා ඉහළ නැඟ ඇත්තේ වසරක කාලයක් පුරා කළ දීර්ඝ වෙහෙසීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එලෙසින්ම විස්සයි-20 ක්‍රීඩාවේදීත් පළමු කණ්ඩායම් 5 අතරට පිවිසීම තම අපේක්‍ෂාව බව චරිත් අසලංක කියයි. 

“ඒකට තියෙන්න ඕනා ප්‍රධානම අවශ්‍යතාව තමයි එක දිගට තරග ජයග්‍රහණය කරන එක. ඒත් ඒ සඳහා අපේ සංයුතියට අවශ්‍ය ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක්ව අපි සොයමින් ඉන්නවා” යයි ද අසලංක කීවේය. 

(ඡායාරූප - ගයාන් අමරසේකර)


අදහස් (0)

පිතිකරු ලයිස්තුවේ අංක 4 අවිශ්කට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.