Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ශුබ්මන් ගිල්ගේ කරපිට බර දෙකක්

ශුබ්මන් ගිල්ගේ කරපිට බර දෙකක්

editorial - 2025 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි - සැකසුම දමින්ද විජේසූරිය)

එංගලන්තයේදී ටෙස්ට් තරගමාලාවක ජයග්‍රහණයක් සඳහා ඉන්දියාව වසර 18 ක කාලයක් තිස්සේ බලා සිටී. ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මෙවර එංගලන්තයට ගොස් ඇත්තේ එම බලාපොරොත්තුව පොදි බැඳගෙන වූවත්, ගිල්ට සිය උත්සාහය ආරම්භ කිරීමට සිදුවන්නේ ලෝකයක් දමනය කළ පිතිකරුවන් දෙදෙනකු වන විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා නොමැතිවය. 

තරගාවලියේ පළමු තරගය හෙට (20 වැනිදා) එංගලන්තයේ හෙඩිංග්ලි නුවරදී ආරම්භ වෙයි. ශුබ්මන් ගිල් සතුව ඇත්තේ නව පෙනුමක් ඇති ඉන්දීය කණ්ඩායමක් වන බැවින් ගිල්ගේ කෙරුවාව ආරම්භයේ සිටම අවධානයට ලක්වනු ඇත. 

පසුගිය මාසයේ රෝහිත් ෂර්මා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කිරීමෙන් පසු ගිල් නායකත්වයට පත් විය. දින කිහිපයකට පසුව විරාට් කෝලි පැවසුවේ ඔහු ටෙස්ට් තරග වලින් ඉවත් වන බවයි.

මේ අතර පිතිකරු ලයිස්තුවේදී කෝලිගේ හිස්තැන පිරවීමේ වගකීමත් ගිල්ට ද පැවරී ඇත. ඉන්දීය උප නායක රිෂාබ් පාන්ට් බදාදා කියා සිටියේ සිකුරාදා හෙඩිංන්ලි හිදී ආරම්භ වන ටෙස්ට් තරගයේදී නායකයා පන්දුවට පහර දෙන ස්ථානය අංක 4 බවයි.

තවමත් 25 හැවිරිදි ගිල්ට ටෙස්ට් තරග වලදී ඇත්තේ ලකුණු 32.00 ක සාමාන්‍යයකි. ඉන්දියාවෙන් පිට පිට තරගවලදී එම අගය 29 දක්වා පහත වැටෙන අතර එංගලන්තයේ පැවැති තරග තුනකදී ඔහුගේ පිතිහරඹයේ ලකුණු සාමාන්‍යය 15 ට අඩු අගයක් දක්වා පහත වැටී තිබේ. 

පසුගිය දශක තුනක කාලයේදී ඉන්දියාවේ අංක 4 ස්ථානයේ ආධිපත්‍යය දරන ලද්දේ සර්වකාලීන සම්භාවනාවට පාත්‍ර වූ පිතිකරුවන් වන සචින් තෙන්ඩුල්කාර් සහ විරාට් කෝලි විසිනි. ඔවුන් දෙදෙනා, අංක 4 ස්ථානයේ ස්ථාවරව රැඳී සිටිමින්, ටෙස්ට් තරග 278 කදී ලකුණු 21,056 ක් රැස් කර ඇත. 
 
ගිල්ගේ පළමු අභියෝගය වන්නේ වසර 18 කට පසුව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජයගැනීමයි. ඒ වෙනුවෙන් ඔහුට ටෙස්ට් තරග 5 ක් ම තිබේ. ඉන්දියාව එංගලන්තයේදී ජයගෙන ඇත්තේ 1971, 1986 සහ 2007 දී පැවැති ටෙස්ට් තරගාවලි පමණි.

කෙසේ වෙතත් ගිල් සිය රැහැන්පට අල්ලා ගත් ආකාරය අපූරුය. 

“මම විශ්වාස කරන්නේ නායකත්වය ආදර්ශයක් වෙන්න ඕන කියලයි. - ලකුණු ලබාගෙන විතරක් හරියන්නේ නෑ. අනෙක පිටියෙන් පිටතදී විනයත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් වැදගත්” යයි ද ඉන්දීය පිලේ නව නායකයා කියයි. 

2022 දී මාරාන්තික මෝටර් රථ අනතුරකින් තුවාල ලද කඩුලු රකින්නා වන රිෂාබ් පාන්ට් ගිල්ගේ උප නායකයාය. ආරම්භක පිතිකරු යශස්වී ජයිස්වාල් ක්‍රිකට් ක්‍රීඩාවේ නැගී එන තාරකාවකි. ඒ කෙසේ වූවත්. එංගලන්තයේදී සීමිත කාලයක් පුහුණු වීමෙන් පසුව ඉන්දීය පිතිකරුවන්ට විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙයි. 

ජස්ප්‍රීට් බුම්රා වර්තමානයේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පන්දු යවන්නන්ගෙන් කෙනෙකි. එහෙත් ඔහු සියලුම ආකෘති වල ක්‍රීඩා කරන බැවින් බුම්රාගේ කාර්ය භාරය පාලනය කරගැනීම සඳහා ඔහු සහභාගි වන්නේ ටෙස්ට් තරග තුනකට පමණි. පළපුරුදු දඟ පන්දු යවන්නකු වන රවිචන්ද්‍රන් අශ්වින් මේ වන විට ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින අතර පාදයේ වලලු කර ශල්‍යකර්මයකට මුහුණ දුන් මොහොමඩ් ශාමි එංගලන්ත සංචාරයට එක්වී නැත. 

තරගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කඩුලු 20 ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ගැටළු තිබේ නම්, එම සැකයන් එංගලන්තයටද අදාළ වේ.

බෙන් ස්ටෝක්ස්ගේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම පසුගිය වසරේ ඉන්දියාවේදී 4-1 ක් ලෙස පරාජයට පත් විය. එහෙත් එංගලන්තය සිය මව්බිමේදී වඩාත් විශ්වාසනීයත්වයෙන් තරග වදින අතරම ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2025 - 2027 චක්‍රයේදී පෙරළියක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. 

එංගලන්තයට ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් නොමැති වූවත් වඩාත් ශක්තිමත් වේග පන්දු යවන්නෝ සිටිති. එහෙත් ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් නොමැතිවීම ගැන රිෂාබ් පාන්ට් නම් සතුටු වෙයි. 

”අපේ කණ්ඩායමත් තරුණයි. අපේ අයත් දියුණු වීමට බලාපොරොත්තු වන නිසා කිසිවෙකු සැහැල්ලුවට ගැනීමට අපි කැමති නැහැ”යයි රිෂාබ් පාන්ට් පැවසීය. ජොෆ්රා ආචර් සහ මාර්ක් වුඩ් යන දෙදෙනාත් හෙඩිංග්ලි තරගයට ඇතුළත් නොවනු ඇත. 


අදහස් (0)

ශුබ්මන් ගිල්ගේ කරපිට බර දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.