Last Update  :  2025-07-07 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ප්‍රතිවාදිනියෝ 20 : ශ්‍රී ලංකාව 0

ප්‍රතිවාදිනියෝ 20 : ශ්‍රී ලංකාව 0

editorial - 2025 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී නිමාවූ ආසියානු පාපන්දු කුසලාන - 2026 (කාන්තා) නිර්දේශ - එෆ් කාණ්ඩයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගිවූ තරග තුනෙන්ම පරාජයට පත් විය.

සෙනසුරාදා (5) ශ්‍රී ලංකාව සහභාගි වූ සිය තෙවැනි තරගයෙන් ලාඕසයට ගෝල 2 - 0 ක පරාජයක් ලැබීය.එහිදී පළමු ගෝලය 72 වැනි විනාඩියේදී  ක්‍රීඩිකා අෂානි අනුරුද්ධිකාගේ පහරකින් ශ්‍රී ලංකා දැල තුළට (ඔන් ගෝල්) වැරදීමකින් පන්දුව යොමුවීමෙන් වාර්තාවූ ලකුණකි.

ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන් සත්කාරක උස්බෙකිස්තානයට ගෝල 10 - 0 ක දරුණු පරාජයක් ලැබීය. පසු ගිය බදාදා (2) පැවැති දෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකාව නේපාලයට එරෙහිව ගෝල 8 - 0 ක තවත් දරුණු  පරාජයක් අත් වින්දේය.

කෙසේවූවත් ශ්‍රී ලංකාවට එරෙහිව තරග තුනකදී ප්‍රතිවාදිනියන් ගෝල 20  ක් වාර්තා කළත් ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකාව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අපොහොසත් වීම කැපී පෙණුනි.එෆ් කාණ්ඩයේ අපරාජිත ශූරියන් වූ සත්කාරක උස්බෙකිස්තානය ඒ අනුව 2026 ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ආසියානු කුසලාන - 2026 (කාන්තා) පාපන්දු අවසන් වටයේ කණ්ඩායම් 12 අතරට පැමිණීමට සමත් විය.

වසර 2024 ඔක්තෝම්බර් මාසයේදී මාලදිවයිනට එරෙහිව ශ්‍රී ලංකාව සිය අවසන් ජාත්‍යන්තර (කාන්තා) පාපන්දු තරගය ජය (2-0) ගෙන තිබේ. එතැන් සිට පසු ගිය සෙනසුරාදා තෙක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරග හයක් පිට පිටම පරාජයට පත්ව තිබේ.

ආසියානු කුසලාන සුදුසුකම් තරග වටයේදී ශ්‍රී ලංකාව අත් කර ගත් පරාජය පිළිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා මෙතැන් සිට ජාතික පාපන්දු  (කාන්තා) කණ්ඩායමේ පූර්ණ වෙනසක් කරන බව පැවැසීය.

"දැන් කණ්ඩායමේ ඉන්න ක්‍රීඩිකාවන් හා පුහුණු කාර්්‍ය මණ්ඩලයේ වැඩි දෙනෙක් එක්ක මේ ක්‍රමයට තවත් ඉදිරියට යන්න බෑ.මේ අවුරුද්දේ ජාතික කාන්තා කණ්ඩායමට තවත් ජාත්‍යන්තර තරග නෑ.ඒ නිසා ජාතික කණ්ඩායමත් රටේ පාපන්දු (කාන්තා) තරග රටාවත් මුළුමනින්ම වෙනස් කරන්න පාපන්දු ආයතනය කටයුතු කරනවා." යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

ටෂ්කන්ට් තරග සංචාරයේදී ප්‍රධාන පුහුණුකරු එම්.ආර්.එම්.ජස්මීන් මහතා ඇතුළු හත් දෙනෙකුගෙන් සමන්විත පුහුණු කාර්‍ය්‍ය මණ්ඩලයක සේවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලැබුණි.


අදහස් (0)

ප්‍රතිවාදිනියෝ 20 : ශ්‍රී ලංකාව 0

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.