Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මගේ ක්‍රීඩා දිවියේදී දැකපු නින්දිතම සිදුවීම මේකයි
ලෝක කුසලාන ක්‍රිකට් 2023

මගේ ක්‍රීඩා දිවියේදී දැකපු නින්දිතම සිදුවීම මේකයි

editorial - 2023 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

(ශානුක අරවින්ද දිල්ලි නුවර සිට..)
 
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ලෝක කුසලාන තරගයේදී තමා දවාගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම කළ ඉල්ලීම ඉතා ලජ්ජා සහගත බවත්, වසර 15 ක තම ක්‍රීඩා දිවිය තුළ කණ්ඩායමක් සහ ක්‍රීඩකයන් පිරිසක් ක්‍රියා කළ නින්දිතම ආකාරය එය බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
 
“බංග්ලාදේශ කණ්ඩායම ඒ වෙලාවෙ කටයුතු කරපු ආකාරය ගැන හුඟක් කණගාටුයි. ඒක මන්කාඩ් අවස්ථාවක් හෝ පන්දු රකින්නාට බාධා කිරීමක් නම් ප්‍රශ්නයක් නෑ. මම විනාඩි දෙක ඇතුළත ක්‍රීස් එකට (සීමා ඉරට) ගිහිල්ලා, ක්‍රීස් ‍එකේදි තමයි මගේ හෙල්මට් එ‍කේ පටිය ගැළවුණේ. ඒක හොඳටම විනිසුරුවරුත් දැක්කා. හෙල්මට් එක කැඩුණට පස්සෙත් මට තව තත්පර 5 ක් ඉතුරු වෙලා තිබුණා. ඒත් මම හෙල්මට් එක පෙන්නුවට පස්සෙ ටික වෙලාවකින් විනිසුරුවො කිව්වා ඒ ගොල්ලො (බංග්ලාදේශ ක්‍රීඩකයෝ) දැවීයෑමකට ඉල්ලීමක් කළා කියලා.” යැයි මැතිව්ස් පැවසීය.
 
ශ්‍රී ලංකා ඉනිමේ 24 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සදීර සමරවික්‍රම දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සීමා රේඛාව වෙත ලඟා වුවද, එම අවස්ථාවේදී ඔහු පැළඳ සිටි හිස් ආවරණයේ (හෙල්මට‍යේ) පටිය ගැළවී ගියේය. එබැවන් එය වෙනත් හිස් ආවරණකට මාරු කිරීම සඳහා මැතිව්ස් සීමා රේඛාවෙන් පිටතට පැමිණි අතර එහිදී ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන ලෙස බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් කළ ඉල්ලීම විනිසුරුවෝ අනුමත කළහ.
 
මෙම ආන්දෝලනාත්මක දැවී යෑම සම්බන්ධයෙන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළ සකීබ් අල් හසන්, මැතිව්ස්‍ගේ සමකාලීනයකු වන අතර ඔවුන් දෙදෙනාම ජාත්‍යන්තර තලයට පිවිස ඇත්තේ එකම කාල වකවානුවකය. ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම් නියෝජනය කළ අවධියේදී පළමු වරට එකිනෙකාට එරෙහිව තරග වැදී ඇති ඔවුන් දෙදෙනාම මේ වන විට 36 වැනි වියේ පසුවෙති.
 
“අද වන තුරුම මගේ හිතේ ඔහු (සකීබ්) ගැන ගරුත්වයක් තිබුණා. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායම ගැනත්. අපි හැමෝම ක්‍රීඩා කරන්නෙ දිනන්න. ඔවුන් ඒක කළේ නීති රීතිවලට යටත්ව නම් කමක් නෑ. ඒත් මගෙ සිදුවීම සම්බන්ධයෙන් නීතිවල පැහැදිළිවම තියෙනවා. විනාඩි 2 ක් ඇතුළත මම එතනට ගියා. ඒක තහවුරු කරන්න අපි ලඟ වීඩියෝ සාක්ෂි පවා තියෙනවා. ඒ ගැන පසුව අපි නිවේදනයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.”
“මම මෙතන්ට ඇවිත් නිකන් කියවන්නෙ නෑ. සදීරගෙ උඩ පන්දුව රැකගත්ත වෙලාවයි, මම සීමා රේඛාවට ඇවිදගෙන ආපු වෙලාවයි අතර විනාඩි දෙකක් ගතවෙන්න තව තත්පර 5 ක් ඉතුරු වෙලා තිබුණා කියන්න වීඩියෝ සාක්ෂි ඇතිවයි මම මේ කතා කරන්නෙ. මේක ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධ දෙයක්. ඔයාලා හිතනවද මම මගේ හෙල්මට් එක නැතුව පන්දුවට පහර දෙන්න ගියානම් හරි කියලා.” යැයිද සිය දැවී යෑම සම්බන්ධයෙන් ඉතා කලකිරීමකින් යුතුව මැතිව්ස් කියා සිටියේය.
 
“ඒ වෙලාවෙ විනිසුරුවන්ටත් කරන්න ලොකු කාර්යයක් පැවරිලා තිබුණා. ඔවුන්ට තිබුණා ආයෙමත් ඒක පරික්ෂා කරලා බලන්න. අඩුම තරමෙ දඟ පන්දු යවනනෙක් පන්දු යවනකොට කඩුලු රකින්නෙක්වත් හෙල්මට් එකක් නැතුව කඩුලු රකින්නෙ නෑ. ඉතින් මම කොහොමද මගේ හෙල්ටමට් එක නැතුව පන්දුවට පහර දෙන්න යන්නෙ. පටිය කැඩුණ එක මගේ වරදක් නෙමෙයි, ඒක මගෙ උපරණවල ‍ඇති වුණ දෝෂයක්. දැන් විනිසුරු‍වෝ අපේ පුහුණුකරුවන්ට කියලා තියෙනවා ඔවුන්ට ඒක අහපහු පරික්ෂා කරන්න තිබුණා කියලා.”
 
“දැන් ඒක කියලා වැඩක් නෑ. එ‍යාලට ඒක ‍එවෙල පරික්ෂා කරන්න තිබුණා. ඒකට අවශ්‍ය තාක්ෂණය ඔවුන්ට තියෙනවා. ඒත් ඔවුන් ඒක කළේ නෑ. මම කියන්නෙ නෑ මම දැවී ගියෙ නැත්නම් තරගයේ තීරණය වෙනස් වෙන්න තිබුණා කියලා. ඒක වෙනම පැත්තක්. ඒත් මගේ දැවී යෑම තරගයට මොනම ආකාරයකින් හරි බලපෑමක් වුණේ නෑ කියලා කියන්න බෑ. මොකද ඒ දැවී යෑම සිදුවුණේ ඉතාමත් තීර්ණාත්මක අවස්ථාවක.” යැයි විනිසුරුවන්ගේ තීරණය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් මැතිව්ස් පැවසීය.
 
තරගය නිමා වීමෙන් අනතුරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙ‍නකු හැරුණුකොට සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම පාහේ බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අතිනත දීම ප්‍රතික්ෂේප කරමින් පිටියෙන් ඉවත්ව ගිය අතර පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පමණක් පිටියට පිවිස බංග්ලාදේශ කණ්ඩාය‍මේ ක්‍රීඩකයන්ට සහ ඔවුන්‍ගේ පුහුණු කාර්ය මණ්ඩලයට අතිනත දුන් අයුරු දැකගත හැකි විය.
 
“අපි ගරු කරන්න ඕන අපිට ගරු කරන අයට. අපිට නැතත් ඔවුන් මේ ක්‍රීඩාවට ගරු කරන්න ඕන. විනිසුරුවනුත් ඇතුළත්ව අපි හැමෝම මේ ලස්සන ක්‍රීඩාවේ නියෝජිතයො. ඉතින් ඔවුන් අන් අයට ගරු කරන්නෙ නැත්නම්, අඩුම තරමෙ ක්‍රීඩා කරද්දි සාමාන්‍ය දැනුමවත් භාවිතා කරන්‍නෙ නැත්නම් අපි ‍කොහොමද ඔවුන්ට ගරු කරන්නෙ.” යැයි එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිව්ස් සඳහන් කළේය.  

අදහස් (5)

මගේ ක්‍රීඩා දිවියේදී දැකපු නින්දිතම සිදුවීම මේකයි
  • Pradeep Kumara Tuesday, 07 November 2023 10:16 PM

    හරි වැරැද්ද කෙසේවෙතත් ඔයාලාට ක්‍රිකට් බෑ. මෑත කාලීනව ක්‍රීඩාවට අවතීර්ණ වුණු අයත් මේ වෙනකොට අපිව පසු කරගෙන ගිහිල්ලා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, කැපවීම, නිරන්තර පුහුණුව සහ දැඩි වුවමනාව නිසා. අපේ අයට නැත්තෙත් ඔය දේවල් තමයි. ක්‍රීඩාවට කලින් තමන්ගේ ක්‍රීඩා උපකරණ ටිකවත් පරීක්ෂා කරලා බලන්න බැරි අයගෙන් කොහොමද හොඳ ක්‍රීඩාවක් බලාපොරොත්තු වෙන්නේ?

    Reply 0       0

    A sad cricket fan Wednesday, 08 November 2023 11:05 AM

    අත්දැකීම් සහිත, හිටපු නායකයකු වශයෙන් ඇන්ජලෝ ක්‍රීඩාවේ නිතිරීතිවලට අදාළව ක්‍රිකට් පිටියට පැමිණිය යුතුයි. සියල්ල සූදානමින් පැමිණිය යුතුයි. හෙල්මට් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් පළමු පන්දුවට හිස් ආවරණය නැතිව මුහුණදී, අලුත් හෙල්මට් එකක් ගන්න කටයුතු කළ යුතුයි...

    Reply 0       0

    kotiyaa Wednesday, 08 November 2023 03:11 PM

    අදාල නෑනේ. ඔයා මේ පුරුදු වෙන්න ක්‍රිකට් ගහනවා නෙවෙයිනේ. ඔයා ප්‍රොෆෙෂනල් ක්‍රිකටර් කෙනෙක් කියලනේ කියා ගන්නේ. එතකොට ඔයා දැනගන්න ඕනේ තියෙන නීති මොනව‍ාද කියලා. නීතියේ තියෙන්නේ ඔයා එතෙන්ට යන වගේම බෝලෙට මූණදෙන්න ලෑස්ති වෙලා තියෙන්න ඕනේ කියලා. හෙල්මට් එක කැඩිලාද, බෝල් ගාඩ් එකේ හිලක්ද කියන එක එතෙන්දි අදාල වෙන් නෑ. ඒවා හදා ගෙන එතෙන්ට යන්න ඔයා දැනගන්න ඕනේ. ඔයා ප්‍රොෆෙෂනල් ප්ලෙයර් කෙනෙක් විදියට සෙල්ලම් කරනවා නම් ගියර් ඔක්කෝම හරි ලෙවල් එකේ වැඩ කරනවද කියලා දැනගන්න ඕනේ... එතෙන්ට යන්න කලින් නෙමෙයි, මැච් එක පටන් ගන්න කලින්. ඒක එහෙම නෑ කියන්නේ ප්‍රොෆෙෂනල් ක්‍රිකටර් කෙනෙක් නෙමෙයි. දැන් බංග්ලාදේශ් කාරයින්ට බැනලා වැඩක් නෑ උන් නරකයි කියලා. උන් නීතියට අනුව ඉල්ලිමක් කරලා විනිසුරුවන් ඒ ඉල්ලීම පිළිඅරගෙන. එච්චරයි. ඔයා අවුට් විතරක් නෙවෙයි, ඉතිහාසගතත් වෙලා.

    Reply 0       0

    K. Ranawera. Wednesday, 08 November 2023 06:30 PM

    අපිට ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වෙන්න බැහැ...

    Reply 0       0

    Wedage Upali Seneviratne Thursday, 09 November 2023 12:50 AM

    එම කණ්ඩායම් දෙකේම පුහුණුකරුවන්ට දැනුම් දිය යුතුයි. එවැනි තත්වයක් සඳහා අවශ්ය, වන්නේ සමගියෙන් විසඳුමක් සෙවීම පමණි. කාරුණික ආචාරශීලී හැසිරීමකින් සහ වඩාත්ම විනීත, විසඳුම් ඕනෑම ආකාරයක ක්‍රීඩාවක් කරන සෑම කෙනෙකුම ඉවසිය යුතුයි. සිදුවීම ඕනෑම වේලාවක සිදු විය හැක. හැමෝම වැරැදි කරනවා. මිනිසුන් ඉවසීමට ඉගෙන ගත යුතුය. එසේ නොවේ නම් ක්‍රීඩා කිරීමට කිසිඳු කරුණක් නැත. ආක්රාමණශීලී, විරුද්ධ ක්‍රිකට් වල හැසිරීම ඇදහිය නොහැකි ය. ඔවුන් කිසිම ආකාරයක ක්‍රීඩාවක් නොකළ යුතුයි. ජීවිතයේ ප්‍රධාන කරුණ වන්නේ ක්‍රීඩාවේ නියැලෙන සෑම කෙනෙකුම සතුටින්, කරුණාවන්ත සහ ආචාරශීලී විය යුතු අතර සිනහවකින් විසඳුම් සෙවිය යුතුයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.