Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලා යෞවනයෝ තරගාවලිය සම කරති
යොවුන් එක්දින තරගාවලිය

බංග්ලා යෞවනයෝ තරගාවලිය සම කරති

editorial - 2025 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි යොවුන් එක්දින තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් අත්කරගත් බංග්ලාදේශ යෞවනයෝ තරග 6 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සම කරගත්හ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 211 කට දැවී ගියේය. ලකුණු 212 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 34.3 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 215 ක් ලබාගනිමින් තරගාවලිය සම කළේය. 

පන්දු 14 කට මුහුණ දෙමින් බංග්ලාදේශ යොවුන් ආරම්භක පිතිකරු කලාම් සිද්දිකි මුලු ලකුණු සංඛ්‍යාව 35 ක් ව තිබියදී දැවී ගියේය. එතැන් සිට එක්වූ සවාඩ් අබ්රාර් (නොදැවී 130) සහ අසිසුල් හකීම් (නොදැවී 69) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 180 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් බංග්ලාදේශ කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. 

පන්දු 106 කට මුහුණ දුන් සවාඩ් අබ්රාර්ගේ ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහර 6 කින් සමන්විත විය. ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් දකුණත් පිතිකරුවාගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය පන්දු 100 කට ලකුණු 122.64 ක් ලෙසින් සටහන් වූයේය. 
නායක අසිසුල් හකීම් ලකුණු 69 ක් වෙනුවෙන් පන්දු 89 කට මුහුණ දුන්නේ සිය ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 3 කින් අලංකාර කරමිනි. 

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූයේ චාමික හීනටිගල (51) සහ කඩුලු රකින්නා වන දිනුර දම්සෙත් (47) පමණි. දම්සෙත් තරමක් වේගයෙන් ලකුණු රැස්කළ නමුත් පිට පිටම සිය දෙවැනි අර්ධ ශතකය ලබාගත් චාමික සුපුරුදු තැන්පත් ලීලාවෙන් පන්දුවට පහර දුන්නේය. ඔහුගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 2 ක් පමණි. එහෙත් දිනුර දම්සෙත්ගේ ඉනිම හතරේ පහර 3 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය. 

චාමික සහ දම්සෙත් එක්වීමට මත්තෙන් බංග්ලාදේශ ආරම්භක පන්දු යවන්නා වූ අල් ෆහාඩ් දවාගෙන සිටියේ කඩුල්ලක් පමණකි. එහෙත් දෙවැනි වාරයේදී පන්දුව අතට ගැනීමෙන් පසුව කඩුලු 5 ක් ම දවාගනිමින් අල් ෆහාඩ්, ලකුණු 44 කට කඩුලු 6 ක් දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම විනාශ කළේය.

ෆහාඩ්ගේ පන්දු යැවීම හේතුවෙන් කඩුලු 4 කට ලකුණු 183 ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම, එතැන් සිට ලකුණු 28 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම දැවී ගියේය. 

තරගාවලියේ තුන්වැනි තරගය මේ මස 30 වැනිදා කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 211 යි
(දුල්නිත් සිගේරා 23, දිමන්ත මහවිතාන 39, චාමික හීනටිගල 51, දිනුර දම්සිත් 47, කිත්ම විදානපතිරණ 10, අල් ෆහාඩ් 44/6, ඉක්බාල් හොසේන් එමොන් 37/2)

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම - ඕවර 34.3 කඩුල්ලක් දැවී 215 යි
(සබාඩ් අබ්රාර් නොදැවී 130, අසිසුල් හකීම් නොදැවී 69)

 

 


අදහස් (0)

බංග්ලා යෞවනයෝ තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.