Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දිමුත් - මෙන්ඩිස් ලකුණු සැණකෙළියේ යති
පළමු ටෙස්ට් තරගය

දිමුත් - මෙන්ඩිස් ලකුණු සැණකෙළියේ යති

editorial - 2023 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

පළමු පෙළ අත්දැකීම් අතින් බොහෝ හිඟපාඩු ඇති අයර්ලන්ත පන්දු යවන්නන් හමුවේ පිඹුරු දඩයමේ යමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ, ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් රැස්කර ගත්හ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 281 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැංවූ දිමුත් කරුණාරත්න (179) සහ කුසල් මෙන්ඩිස් (140) ශ්‍රී ලංකා කණ්ඩායම එවන් ප්‍රබල තත්ත්වයකට කැඳවාගෙන ගියහ.

දිනයේ අවසානය ආසන්නයේදී පිතිකරුවන් තිදෙනකු දැවී ගිය නමුත් මුරකරු පිතිකරු ලෙසින් පැමිණි ප්‍රභාත් ජයසූරිය අලංකාර හතරේ පහර දෙකක් ද සමගින් ලකුණු 12 ක් ලබා ශ්‍රී ලංකා ඉනිම රඳවාගත්තේය.

අද දිනයේ ක්‍රීඩාව අවසන් වීමට විනාඩි 15 ක් පමණ ඉතිරිව තිබියදී දිමුත් කරුණාරත්න දැවී ගියේ වෙසෙසින්ම ලැබිය යුතුව තිබූ ද්විත්ව ශතකයක්, පෙනි පෙනී තිබියදීම අහිමි කරගනිමිනි. පැය 6 කට වැඩි කාලයක් පුරා, ඉතාමත් වෙහෙසකර නමුත් අලංකාර පිතිහරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න, මෙවන් තරගයකදී පන්දුවට පහර දිය යුත්තේ කෙසේද යන්නට කදිම නිදර්ශනයක් සැපයීය. සිය පන්දු 235 ඉනිම හතරේ පහර 15 කින් සැරසූ නායකයා දැවී ගියේ අයර්ලන්ත ක්‍රීඩකයන් අනුගමනය කළ සූක්‍ෂම උපායකිනි.

දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව, දිමුත්ගේ පා ඉන්න පැත්තෙන් පැමිණ, පිතිකරුවාට මුහුණ දීමට අසීරු කෝණයක් නිර්මාණය කරගත් මාක් ඇඩෙයාර්ගේ පන්දුව දිමුත්ගෙන් ඉවතට ඇදී යද්දී, ඔහුගේ පිත්තේ පිටත දාරයේ යාන්තමින් වැදී කඩුලු රකින්නා වූ ලෝකන් ටකර්ගේ අත් ආවරණ අතර සැඟවී ගියේය.

අවසන් ටෙස්ට් ටෙස්ට් තරග 4 සිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වන  දිමුත් කරුණාරත්නගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 40, 61, 50, 17, 89, 51 සහ 179 ක් ලෙසිනි. ඔහු අද ලබාගත්තේ සිය 15 වැනි ටෙස්ට් ශතකයයි.

නායකයා සමගින් එක්ව, විනාඩි 171 ක කාලයක් තුළදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 181 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් මෙන්ඩිස්, ඇන්ඩි මැක්බ්‍රයින් හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. දිවා ආහාරයෙන් පසුව එකිනෙකා හා තරගයට ලකුණු ලබාගත් පිතිකරුවන් දෙදෙනා අතුරින් පළමුවෙන්ම කරුණාරත්න, එක්ස්ට්‍රා කවර්ස් කලාපයට පන්දුව තල්ලු කරමින් සිය ශතකය සම්පූර්ණ කළේය.

කුසල් මෙන්ඩිස්ගේ හිතුවක්කාර පහර තේරීම මැනවින් හඳුනන බැවින්දෝ පන්දු රකින්නන් හත් දෙනකු පිටියේ ඇතුළතින් රඳවා ඔවුන්ගේ හිසට ඉහළින් පන්දුව යවන මෙන් අයර්ලන්ත නායකයා පිතිකරුවාට ආරාධනා කළද, මෙන්ඩිස් එම උගුලේ නොවැටී පන්දුවට පහර දුන්නේය. ටෙස්ට් පිතිකරුවකු වශයෙන් තුන් වතාවක්ම ලකුණු 175 සීමාව පසුකර (176, 194 සහ 196) ඇති නමුත් කුසල් මෙන්ඩිස් අදත් ලකුණු 140 කට දැවී ගියේය.

ජෝර්ජ් ඩොක්රල්ගේ පන්දුවක් පා ආවරණයේ වැදීමෙන් කුසල් මෙන්ඩිස් දැවී ගිය බවට දකුණු අප්‍රිකානු ජාතික විනිසුරු ඒඩි්‍රයන් හෝල්ඩ්ස්ටොක් මහතා දුන් තීරණය පිතිකරුවා විසින් විතීවි වෙත යොමුකළ නමුත් විනිසුරුවරයාගේ තීන්දුව නිවැරදි විය.

දිමුත් කරුණාරත්නගේ නවතම ආරම්භක පිතිකරු සගයා ලෙසින් එක්වූ නිශාන් මධුෂ්ක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් කර්ටිස් කැම්පර්ගේ හොඳ පන්දුවක් හමුවේ ලකුණු 29 කට දැවී ගියේය. පිට ඉන්නට යන්තම් එපිටින් පතිත වූ පන්දුව පිතිකරුවා පසුකර යද්දී තම පිත්ත ඉවතට ඇදගැනීමට තරම් කාලයක් ඔහුට ඉතිරිව නොතිබිණ.

ටෙස්ට් වරම් හිමි නමුත් අයර්ලන්තය පළමු පෙළ තරගාවලියක් නැති රටකි. අද තරගයේදී ක්‍රීඩාකරන පා දඟ පන්දු යවන්නා වන බෙන්ජමින් වයිට්ගේ මංගල පළමු පෙළ තරගය වූයේත් පසුගිය සතියේ ඩකා නුවරදී බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයයි. එහෙත් ඔහු සුවිශේෂී යමක් කළ හැකි පා දඟ පන්දු යවන්නෙකි.

පීටර් මුවර් වර්තමානයේදී අයර්ලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කළද, ඔහු  2018 දක්වාම සිම්බාබ්වේ පිල වෙනුවෙන් ක්‍රීඩා කළේය. ඔහුගේ අයර්ලන්ත සම්භවය හේතුවෙන් වසර 2022 සිට අයර්ලන්තය නියෝජනය කිරීමේ වරම් ලබා සිටී.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කිසිම පැකිළීමකින් තොරවම අයර්ලන්ත ක්‍රීඩකයන් පන්දු රැකීම සඳහා පිටියට යවමින්, පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තේය. පෙරවරු 10.00 ට තරගය ආරම්භ වන විටත්, ගාල්ල ක්‍රීඩාංගණය අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 ඉක්මවා තිබුණු අතර දිවා ආහාරය වන විට එය තවත් ඉහළ නැඟ තිබිණ.

සධීර සමරවික්‍රම නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී සිටින්නේ වසර හතර හමාරකට පමණ පසුවය. අවසන් වරට, 2017 දෙසැම්බර් මාසයේදී, ඉන්දියාවට එරෙහිව නවදිල්ලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සමරවික්‍රම මීට පෙර ටෙස්ට් තරග 4 කට සහභාගි වී ඇතත්, ඒ එකම තරගයක හෝ කඩුලු රකින්නා ලෙසින් කටයුතු නොකළේය. ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙසින් සටහන් වන්නේ ලකුණු 38 කි.

 


අදහස් (0)

දිමුත් - මෙන්ඩිස් ලකුණු සැණකෙළියේ යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.