Last Update  :  2025-09-12 21:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දැවැන්තම එක්දින ක්‍රිකට් පරාජය ද. අප්‍රිකානුවන්ට

දැවැන්තම එක්දින ක්‍රිකට් පරාජය ද. අප්‍රිකානුවන්ට

editorial - 2025 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලකුණු පරතරය අනුව ගත්කළ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දැවන්තම පරාජයට හිමිකම් කීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඊයේ (8 වැනිදා) සිදුවිය. ඒ එංගලන්තයට එරෙහිව සදම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 342 කින් පරාජයට පරාජයට පත්වීම හේතුවෙනි. 

මින් පෙර ලකුණු පරතරය අනුව ගත්කළ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දැවන්තම පරාජය ලෙස සටහන්ව තිබුණේ 2023 වසරේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලබා තිබූ ලකුණු 317 ක පරාජයයි. එක්දින තරගයකදී එංගලන්තය ලබා තිබූ ඉහළම ජයග්‍රහණය වූයේ 2018 වසරේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලබා තිබූ ලකුණු 242 ක ජයග්‍රහණයයි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 415 ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට ඕවර 20.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 72 ක් පමණි. එය දකුණු අප්‍රිකානු කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර තරගයකදී ලබාගත් දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවද විය. 

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජොෆ්රා ආචර් නිලකුණු ඕවර 3 ක්ද සමග ඕවර 9 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 4 ක් බිඳහෙළමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩපණ කළේය. දකුණු අප්‍රිකානු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාගැනීම සඳහා ආචර්ට අනගි සහායක් දුන් ආදිල් රෂීඩ් ලකුණු 13 කට කඩුලු 3 ක්ද, බ්‍රඩන් කර්ස් ලකුණු 33 කට කඩුලු 2 ක්ද බිඳහෙළීමට සමත් වූහ. 

ලකුණු නොළබා දැවී ගිය පිතිකරුවන් තිදෙනකුද ඇතුළුව පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යෑම දකුණු අප්‍රිකාවට විශාල පාඩුවක් විය. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කෝබින් බොස්ච් පන්දු 32 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක් රැස්කළේය. 
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 414 ක් ලබාගත් අතර එහිදී ජෝ රූට් (100) සහ ජෙකොබ් බෙතෙල් (110) ශතක වාර්තා කළහ. පන්දු 96 කදී වාර්තා වූ රූට්ගේ 19 වැනි එක්දින ශතකය හතරේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 82 කදී ලබාගත් සිය මංගල එක්දින ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 13 කින් සැරසීමට බෙතෙලේ සමත් විය. 

එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ආරම්භක පිතිකරු ජෙමී ස්මිත් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 62 ක් රැස්කළේය. අවසාන ඕවර කිහිපයේදී පන්දු 32 කට මුහුණදුන් ජොස් බට්ලර් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග වේගවත් ලකුණු 62 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

 

එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 414 
(ජෙමී ස්මිත් 62, බෙන් ඩුකට් 31, ජෝ රූට් 100, ජෙකෝබ් බෙතෙල් 110, ජොස් බට්ලර් නොදැවී 62, විල් ජැක් නොදැවී 19, කේෂව් මහරාජ් 61/2, කෝබින් බොස්ච් 79/2) 

දකුණු අප්‍රිකාව - ඕවර 20.5 කදී සියලු දෙනා දැවී 72 
(කෝබින් බොස්ච් 20, කේෂව් මහරාජ් 17, ජොෆ්රා ආචර් 18/4, ආදිල් රෂීඩ් 13/3, බ්‍රයිඩන් කාර්ස් 33/2) 

-036 


අදහස් (0)

දැවැන්තම එක්දින ක්‍රිකට් පරාජය ද. අප්‍රිකානුවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.