Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International චන්දිමාල් - ජයසූරිය එක්ව ශ්‍රී ලංකාව ඉනිමකින් දිනවති
වෝන් - මුරලි කුසලාන

චන්දිමාල් - ජයසූරිය එක්ව ශ්‍රී ලංකාව ඉනිමකින් දිනවති

editorial - 2022 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...)

දිනේෂ් චන්දිමාල්ගේ චිත්තාකර්ශනීය ද්විත්ව ශතකයත්, ප්‍රභාත් ජයසූරියගේ වාර්තාගත පන්දු යැවීමත් නිසා ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදීම ඕස්ට්‍රේලියානුවන් පරදවා ඉනිමකින් සහ ලකුණු 39 කින් ජයගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. මෙම තරගය ජයගැනීමත් සමගින් වෝන් - මුරලි කුසලාන තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළ ශ්‍රී ලංකාව, ටෙස්ට් ලෝක ශූරතාවලියේදී ප්‍රසාද ලකුණු 60 ක් රඳවා ගත්තේය.

පළමු ටෙස්ට් තරගය ජයගැනීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවටද ප්‍රසාද ලකුණු 60 ක් හිමිවෙයි. කෙසේ වෙතත් කලින් පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීම නිසා වෝන් - මුරලි කුසලානය ඕස්ට්‍රේලියානුවන් විසින්ම රැගෙන යනු ඇත.

ලකුණු 190 ක මුල් ඉනිමේ අවාසියකට මුහුණ දුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ඕවර 41 කදී ලකුණු 151 කට දැවී ගියේය. වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 177 කට කඩුලු 12 ක් දවාගත්තේ ටෙස්ට් ඉතිහාසයේදීම, පන්දු යවන්නකු සිය මංගල ටෙස්ට් තරගයකදී වාර්තා කරන ලද සිව්වැනි හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි. එය ශ්‍රී ලාංකිකයකු සිය මංගල ටෙස්ට් තරගයේදී කළ හොඳම පන්දු යැවීමද වෙයි.

ඕස්ට්‍රේලියානුවන්ගේ පළමු ඉලක්කය වූයේ ලකුණු 190 ක් ඈතින් තිබූ ඉනිමක අවාසිය මඟ හරවා ගැනීමයි.

ඩේවිඩ් වෝනර් (24) සහ උස්මන් කවාජා (29) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැංවූවද ජයසූරිය එකම ඕවරයකදී කඩුලු දෙකක් දවාගනිමින් ලකුණු පුවරුව කඩුලු 3 ට 59 ක් ලෙසින් වෙනස් කළේය. මානස් ලැබුෂේන් ගැසූ ස්වීප් පහර වැරදීයාම හේතුවෙන් පස්වැනි කඩුල්ලත් ලකුණු 112 දී බිඳ වැටිණ.

එතැන් සිට බොහෝ දෙනාගේ ප්‍රශ්නය වූයේ තරගය පස්වැනි දිනයටත් යාදෝ නැද්දෝ යන්නයි. එහෙත් කැමරන් ග්‍රීන් සහ මිචෙල් ස්ටාක් දෙදෙනාම පන්දු 3 ක් ඇතුළතදී දවාගනිමින්, ප්‍රභාත් ජයසූරිය එම සැකය දුරු කළේය.

ඉතාමත් කළාතුරෙකින් දැකගත හැකි පන්දුවකින් ට්‍රැවිස් හෙඩ් දවාගත් රමේෂ් මෙන්ඩිස්ට මෙම තරගයේදී දවාගත හැකිවූයේ කඩුලු 3 ක් වුවද එහි වටිනාකම ඊට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනී. මක්නිසාද යත් ප්‍රභාත් ජයසූරියගේ සාර්ථකත්වයේ රහස වූයේ රමේෂ් මෙන්ඩිස් අනෙක් අන්තයෙන් කළ පන්දු යැවීම වූ බැවිනි.

ප්‍රභාත්ගේ පන්දු යැවීමෙන් චන්දිමාල්ගේ ඉනිමේ දීප්තිය අඩු නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ වාසිය මිටට ගත්තේ චන්දිමාල් ලබාගත් ද්විත්ව ශතකයෙනි. ලකුණු 186 දී කුසල් මෙන්ඩිස් දැවී යාමෙන් පසුව, ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්වූ චන්දිමාල් එතැන් සිට 554 වැනි ලකුණ දක්වාම දැඩි අධිෂ්ඨානශීලී පිතිහරඹයක නිරත වූයේය.

රමේෂ් මෙන්ඩිස් (29) සහ මහීෂ් තීක්‍ෂණ (10) සමගින් එක්ව 7 වැනි සහ 8 වැනි කඩුලු වෙනුවෙන් ලකුණු 89 ක් එකතු කළ චන්දිමාල් දිවා ආහාරයට පෙර පැවැති අවසන් ඕවර දෙකට මුහුණ දුන්නේ අනෙක් අන්තයේ පිතිකරුවා වූ ප්‍රභාත් ජයසූරිය ආරක්‍ෂා කරගනිමිනි. ඒ වෙනුවෙන් තමාට ලබාගත හැකිව තිබූ තනි ලකුණු කිහිපයක්ම අතහැර දැමීමටත් ශ්‍රි ලංකා පිලේ හිටපු නායකයාට සිදුවිය.

විනාඩි 500 කට වැඩි කාලයක් තැන්පත් ලීලාවෙන්, සැබෑ ටෙස්ට් පිතකරුවකු ලෙසින් පිත්ත හැසිරවූ චන්දිමාල්, අවසන් පිතිකරුවා පිටියට පිවිසීමත් සමගින් හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් තම කණ්ඩායමට එකතු කිරීමේ අභිලාෂයෙන් වේගයෙන් ලකුණු කරා ගියේය.

එතැන් සිට පන්දු 18 කදී ලකුණු 42 ක් ලබාගත් චන්දිමාල්, සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළේ මිචෙල් ස්ටාක් පිට පිටම යැවූ පන්දු දෙකක් ගාලු කොටුබැම්ම අසළ මහා මාර්ගයට යවමිනි.

ප්‍රභාත් ජයසූරිය සහ කසුන් රාජිත දෙදෙනාටම එකම ලකුණක් හෝ ලබාගත නොහැකි වූ නමුත්, අවසන් කඩුලු දෙක වෙනුවෙන් ශ්‍රී ලංකා පිලට එක්වූ ලකුණු සංඛ්‍යාව 56 කි. ඒවායින් ලකුණු 54 කම හිමිකරුවා චන්දිමාල් විය.

තම 68 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ චන්දිමාල්ගේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වී තිබුණේ ඉන්දියාවට එරෙහිව නවදිල්ලියේදී ලබාගත් ලකුණු 164 කි. එහෙත් චන්දිමාල්ගේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම වන්නේ වසර 2015 දී ඉන්දියාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංණයේදීම නොදැවී ලබාගත් ලකුණු 162 යි. චන්දිමාල් අද තරගයේදී කළ පිතිහරඹයත්, 2015 දී ඉන්දියාවට එරෙහිව කළ පිතිහරඹයත් අතර ඇත්තේ සියුම් පරතරයකි. මෙම තරග දෙකේදීම ශ්‍රී ලංකාව ජයගත්තේය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)

 


අදහස් (0)

චන්දිමාල් - ජයසූරිය එක්ව ශ්‍රී ලංකාව ඉනිමකින් දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.