Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කෝලි පසුබසිද්දී දිමුත් ඉහළ නගී

කෝලි පසුබසිද්දී දිමුත් ඉහළ නගී

editorial - 2022 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත. සිය ක්‍රීඩා දිවිය තුළ මේ දක්වා දිමුත් හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත ස්ථානය මෙය වන අතර මින් පෙර 2019 වසර්දී ඔහු එහි 6 වැනි ස්ථානයට පත් විය.

ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයට පෙර ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයේ පසුවූ දිමුත්ට, එම තරගයේදී ලබාගත් ශතකය හේතුවෙන් ශ්‍රේණිගතකිරීම්හි ස්ථාන 3 ක් ඉහළට පැමිණීමේ අවස්ථාව උදා වී තිබේ. මේ වන විට දිමුත් ශ්‍රේණිගත ලකුණු 781 ක් ලබා සිටින අතර එය සිය ක්‍රීඩා දිවිය තුළ දිමුත් ලබා ඇති ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාවද වේ.

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග 4 කට ක්‍රීඩා කර ඇති දිමුත් එහිදී ඉනිම් 8 ක් තුළ ශතක 2 ක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 444 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 55.5 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 147 ක් රැස්කළ දිමුත්, ඉන්දියාවට එරෙහිව ලකුණු 107 ක් රැස්කළේය.

දිමුත් එසේ ශ්‍රේණිගතකිරීම්හි ඉහළ නගිද්දී දිගින් දිගටම පිතිකරුවකු ලෙස අසාර්ථක වූ ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි පියවර 4 ක් පසුබසිමින් ශ්‍රේණිගතකිරීම්හි 9 වැනි ස්ථානයට පත්ව ඇත. ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ඔහු ශ්‍රේණිගතකිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවිය.

මේ දක්වා ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග 9 කට ක්‍රීඩා කර ඇති කෝලි එහිදී ඉනිම් 16 ක් තුළ අර්ධ ශතක 3 ක් සමග රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 496 කි. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය සටහන් වන්නේ 31 ක් ලෙසිනි. කෝලි අවසන් වටර ටෙස්ට් තරගයකදී ශතකයක් ලබාගැනීමට සමත්ව ඇත්තේ 2019 වසරේ නොවැම්බර් මාසයේදී බංග්ලාදේශයට එරෙහිවය.

පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති 2 වැනි ටෙස්ට් තරගය ඊයේ (16 වැනිදා) නිමාවට පත්වූ අතර ඉන් අනතුරුව ක්‍රීඩක ශ්‍රේණිගත ලැයිස්තුව යළිත් වරක් යාවත්කාලීන වීමට නියමිතව තිබිණ. ඒ අනුව ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී නායකයකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගත් පාකිස්තාන නායක බාබර් අසාම් (196) ශ්‍රේණිගතකිරීම්හි ඉහළට පැමිණීමට නියමිතව සිටියේය.


ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්
1 මානස් ලැබුෂේන් (ඕස්ට්‍රේලියාව) - ලකුණු 936
2 ජෝ රූට් (එංගලන්තය) - ලකුණු 872
3 ස්ටීවන් ස්මිත් (ඕස්ට්‍රේලියාව) - ලකුණු 851
4 කේන් විලියම්සන් (නවසීලන්තය) - ලකුණු 844
5 දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව) - ලකුණු 781
6 රෝහිත් ශර්මා (ඉන්දියාව) - ලකුණු 754
7 ට්‍රැවීස් හෙඩ් (ඕස්ට්‍රේලියාව) - ලකුණු 753
8 බාබර් අසාම් (පාකිස්තානය) - ලකුණු 743
9 විරාට් කෝලි (ඉන්දියාව) - ලකුණු 742
10 රිෂාබ් පාන්ට් (ඉන්දියාව) - ලකුණු 738


අදහස් (0)

කෝලි පසුබසිද්දී දිමුත් ඉහළ නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.