Last Update  :  2024-04-30 23:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කොලේ වහලා ගහන්නේ කාට හංගන්න ද ?
ලෝක කුසලාන - 2023

කොලේ වහලා ගහන්නේ කාට හංගන්න ද ?

editorial - 2023 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දකුණු පාදයේ මාංශ පේශිවල අබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා දසුන් ශානකට සහභාගි විය නොහැකි බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් පත්කර ඇති බවත් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනය කෙරිණ. දසුන් වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට ආදේශ කිරීම සඳහා 2023 ලෝක කුසලාන තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය හිමිවි ඇති බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින්ම නිවේදනය කරන ලදි. 

මෙම ආබාධය සුවවීම සඳහා තවත් සති තුනක් යන බව, සෙනසුරාදා (14 වැනිදා) නිකුත් කරන ලද අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය නිවේදනයකින් කියැවෙයි. 

දසුන්ව තවත් දින 21 ක කාලයක්, අතිරේක සංචාරක ක්‍රීඩකයා වශයෙන් කණ්ඩායමේ රඳවාගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. එසේ නම්, 14 වැනිදා සිට සති තුනක් ගතවන, නොවැම්බර් 04 වැනිදා දක්වා දසුන් කණ්ඩායම සමගින් රැඳී සිටිනවා ද?

නොවැම්බර් 04 වැනිදා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග 9 න් තරග 7 ක් අවසන් වී තිබෙන බැවින්, ඔහුව එතෙක් කලක් කණ්ඩායමේ රඳවා ගැනීම අවශ්‍ය කාරණාවක් ද ?

නොවැම්බර් 04 වැනිදාට පොරතුව, වෙනත් ක්‍රීඩකයකු කිසියම් ආබාධයකට ලක්වුවහොත්, දසුන්ගෙන් එම අඩුව පිරවිය හැකි ද?. බැරිනම් ආබාධ සහිත ක්‍රීඩකයකු සති තුනක් කණ්ඩායමේ රඳවා ගන්නේ කවර පදනමක් මත ද?
නිවේදන වල එසේ සටහන් වූවත්, ඇත්ත වශයෙන්ම දසුන් ශානක ආබාධයකට ලක්වී සිටී ද?
ප්‍රළාප කීමේදීත් සීමාවක් තියාගත යුතු බව නොකියා බැරිතැනට පැමිණ තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ කොලේ වහන්න යන්නේ කාටද ?

පසුගිය සැප්තැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා ‘ලංකාදීප’ ක්‍රීඩා පිටුවේම පළවූ වාර්තාවක් වෙත යළි හැරෙමු. එහි මෙසේ සටහන් විය.  

ඔහුගේ අවසන් එක්දින තරග 15 දී දසුන් ලකුණු ලබාගත් ආකාරය සටහන් වන්නේ ⋆, 1, ⋆, 5, 0, 5, ⋆, ⋆, 1, නොදැවී 14, 5, 24, 9, 2 සහ 0 ක් ලෙසිනි. ⋆ ලෙසින් සටහන් වන්නේ තරගය ජයගැනීම හේතුවෙන් දසුන් පන්දුවට පහර නොදුන් අවස්ථාවන්ය. ඒ අනුව සිය අවසන් එක්දින තරග 15 දීම දසුන්ගේ ලකුණු ලබාගැනීමේ සාරංශය සටහන් වන්නේ තරග 15 යි, ඉනිම 11 යි, ලකුණු 66 යි, සාමාන්‍යය 6.60 ක් ලෙසිනි. 

එවන් තත්ත්වයක් යළි උද්ගත වුවහොත්, කණ්ඩායමේ 11 දෙනාගෙන් දසුන් එළියේ තබා වෙනත් ක්‍රීඩකයකුට නායකත්වය පැවරීමේ සැලසුමක් ද තේරීම් කමිටුවට ඇත. දසුන් මේවන විට පන්දුවට පහර දෙන්නේ අංක 7 ස්ථානයෙන් බැවින් කණ්ඩායම තේරීමේදී එය පහසු කාර්යයකි. 

සැබෑව මෙයයි. 

පසුගිය සැප්තැම්බර් 20 වැනිදා පෙරවරුව වන විට දසුන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබිණ. කණ්ඩායමේ යහපත වෙනුවෙන් නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසත් දසුන්ට දැනුම් දී තිබිණ. එහෙත් ‘සකල සිරින් පිරි සිරි ලංකාවේ කටයුතු සිදුවන සැටි ලෙසිනා’ එදින සවස් වන විට දසුන් කණ්ඩායමට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබිණ. 

ලෝක කුසලාන තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ නිල අනුමැතිය දීම දිගින් දිගටම කල්යාමේ රහස එයයි. ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ගියේ පසුගිය සැප්තැම්බර් 26 වැනිදා වූවත්, ලෝක කුසලාන තරගාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් මාධ්‍යට නිකුත් වූයේ ද සැප්තැම්බර් 26 වැනිදා පස්වරු 4.47 ටය. 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙවැනි සුකුරුත්තම් වැඩ හොඳින් හුරු පුරුදුය. ඒවාට දිගු ඉතිහාසයක් ද තිබේ. 
1990  දශකය අග භාගයේදි බංග්ලාදේශයේ සංචාරය කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු රකින්නා වූ රොමේෂ් කළුවිතාරණ වෙනුවට වැඩිපුර ලකුණු ලබාගත හැකි කඩුලු රකින්නකු වූ හෂාන් තිලකරත්න අවශ්‍ය විය. ‘උණ ගැනීම නිසා’ රොමේෂ් කළුවිතාරණ නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ආදේශක ක්‍රීඩකයා වශයෙන් හෂාන් බංග්ලාදේශයට ගියේය. 

2012 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට පත්වූ උපාලි ධර්මදාස මහතා ඉදිරියට එන්නේ “කණ්ඩායමේ නායකයා හැටියට මහේලව දෙනවා නම්, මම නිලවරණයට ඉදිරිපත් වෙන්නම්” යන කොන්දේසිය යටතේය. 

ශ්‍රී ලංකාව පළමු වතාවට දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ජයක් ලබාගන්නේ වසර 2012 දකුණු අප්‍රිකානු සංචාරයේදීය. තිලකරත්න ඩිල්ෂාන් කණ්ඩායමේ නායකයා විය. එහෙත් දකුණු අප්‍රිකානු සංචාරය නිමාවේදී ඩිල්ෂාන් නායකත්වයෙන් ඉල්ලා අස්වූ හේතුව අදටත් අබිරහසකි. 

මහේල ජයවර්ධන ‘අවුරුද්දක කාලයකට පමණක්’ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බාරගත්තේය. 2012 දී ශ්‍රී ලංකාවේ දී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගිය මහේල එයින් පසුව නායකත්වයෙන් ඉවත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් 2014 දී සිදුවූයේත් එවැන්නකි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් බංග්ලාදේශයට ගිය දිනේෂ් චන්දිමාල් ලෝක කුසලාන තරගාවලියේදී දිගින් දිගටම පිතිතිකරුවකු වශයෙන් අසාර්ථක විය. සංචාරක තේරීම් කමිටු නිලධාරියා වශයෙන් හෂාන් තිලකරත්න ඒ වන විටත් ඩකා නුවර සිටි නමුත් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිටියේ ශ්‍රී ලංකාවේය. 

සියලු වැඩ අතහැර දමා ඩකා නුවරට ගිය සනත් ජයසූරිය කණ්ඩායමේ නායකයා ඇමතීය. 

“මල්ලී, ඔයා ටිකක් පැත්තකට වෙලා ඉන්නවද ?, අපිට මේ තරගාවලිය දිනන්න පුළුවන්... ඔයාට කාලය තියෙනවානේ...” 

චන්දිමාල් එකඟ විය. 

ලසිත් මාලිංග තාවකාළිකව නායකයා වූවද, 2014 කණ්ඩායමේ නායකයෝ 4 දෙනෙක් සිටියහ. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ද එකම වෙලාවේදී පිටියේ සිටියහ. කණ්ඩායම් රැස්වීමේදී නම් චන්දිමාල් ද සිටියේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම 2014 දී විස්සයි-20 ලෝක ශූරයෝ ලෙසින් කිරුළු පැළඳූහ. 

2014 දී මෙන් ශක්තිමත් කණ්ඩායමක් මෙවර ශ්‍රී ලංකාවට නැති බව අතිශයෝතියක් හෝ අවතක්සේරු කිරීමක් නොවේ. යථාර්තය එයයි. 

එවන් තත්ත්වයක් තිබියදීත්, තමන් කරන්න යන දේ කෙළින් කියන්නට කොන්දක් නැතිකම මිස, කොලේ වසා ගැසීමේ වැඩ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අලුත් දේවල් නොවේ. 

මේ ශ්‍රී ලංකාවේ කටයුතු සිදුවන ස්වභාවයයි. 

 


අදහස් (0)

කොලේ වහලා ගහන්නේ කාට හංගන්න ද ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.