Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය පරාජයේ දොරටුවට ඇදෙයි
අළු බඳුන - 2025

එංගලන්තය පරාජයේ දොරටුවට ඇදෙයි

editorial - 2025 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බෙන් ස්ටෝක්ස් සහ ජොෆ්රා ආචර් එංගලන්තය වෙනුවෙන් පිත්තෙන් සටන් කරති. නමුත් මුල් ඉනිම සඳහා ලකුණු 158 ක හිඟයක් සහිත එංගලන්තයට ඇත්තේ ළුෑනු සිවියක් තරම් සියුම් බලාපොරොත්තුවක් පමණි. 

ඇඩිලේඩ් නුවරදී පැවැත්වෙන තුන්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (18 වැනිදා) එංගලන්තය සතුව ඇත්තේ පළමු ඉනිමේ කඩුලු දෙකක් පමණක් බැවින් එංගලන්තය පරාජයේ දොරටුව කරා ඇදීයාම වළක්වාගත හැක්කේ ප්‍රාතිහාර්යයකින් පමණි. 

ඕස්ට්‍රේලියාව තවමත් නිල වශයෙන් අළු බඳුන අත්පත් කරගෙන නැත. එසේ වුවත්, ඇඩිලේඩ් ටෙස්ට් තරගයේ  දෙවන දිනය නිමාවන විටත් ඉතිරිව තිබූ එකම පැනය වූයේ ඕස්ට්‍රේලියානුවන් අළු බඳුන අත්පත් කරගන්නේ “කවදාද?” යන්න මිස “එහෙම වෙනවාද?” යන්න නොවේ. 

තරගයේ දෙවැනි දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 45 ක් ලබා සිටි අතර ජොෆ්රා ආචර් නොදැවී ලකුණු 30 ක් ලබා සිටියේය. 

ඕස්ට්‍රේලියානුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 371 ට පිළිතුරු සොයා යාමේදී එංගලන්තයේ 8 වැනි කඩුල්ලත් ලකුණු 168 දී බිම වැටිණ. එහෙත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්ටෝක්ස් සහ ආචර් දෙදෙනා ලකුණු සංඛ්‍යාව 213 ක් දක්වා ඇදගෙන ගියද එංගලන්තය තවමත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 158 ක් පසුපසින් සිටී. 

මෙවර අළු බඳුන තරගාවලියේදී එංගලන්තය පසුපසට වැටීම අරුමයක් නොවේ. පළමු ටෙස්ට් තරග දෙකේදීම දරුණු පරාජයන් දෙකකට මුහුණ දුන් සංචාරක එංගලන්ත කණ්ඩායම මේ වන  විටත් 0-2 ක් ලෙසින් තරගාවලියේ පසුපසට වැටී සිටී. 

ස්ටෝක්ස් පන්දු 151 කට මුහුණ දෙමින්, පැය හතරකට වඩා වැඩි කාලයක් ඔහුගේ ලකුණු 45 වෙනුවෙන් සටන් කළේය. එහෙත් නත්තල දක්වාම අළු බඳුනේ තරගකාරීත්වය ආරක්‍ෂා කරගැනීමට ස්ටෝක්ස්ට හැකිවේද යන්න ප්‍රශ්නයකි. මක්නිසාද යත් මෙම තරගය පරාජය වුවහොත්, නත්තලට පෙරදීම අළු බඳුන ඕස්ට්‍රේලියානුවන් සතුවන බැවිනි. 

අළු බඳුන රැකගැනීමේ අවසන් උත්සාහය අත්හැරීමට සූදානම් නැති එංගලන්ත නායකයා, මෙම තරගය ආරම්භයට පෙර තම ක්‍රීඩකයන්ට කියා සිටියේ “හැමදේම මහත්වරුන් වගේ කරන්න යන්න එපා” කියාය. ඕස්ට්‍රේලියානුවන් හමුවේ නපුරු වන ලෙසත්, තමන්ගේ අභිමානය වෙනුවෙන් සටන් වදින ලෙසත් සිය සගයන්ට කී ස්ටෝක්ස් මේ වන විට එංගලන්තයේ අභිමානය පතුළටම සිඳී යාමෙන් මහත් කම්පාවට පත්ව සිටී. 

පළමු තරග දෙකේදීම නායකත්වය දැරූ ස්ටීවන් ස්මිත් අසනීප වීමත්, ජොෂ් හේසල්වුඩ් අබාධයක් ලක්වීමත් නිසා ඇඩිලේඩ් තරගයට ක්‍රීඩා නොකරති. එහෙත් ඇඩිලේඩ්හිදී තරගයට එක්වූ නිත්‍ය නායක පැට් කමින්ස් සහ නේදන් ලයන් ඉක්මනින්ම දස්කම් අතරට පැමිණියහ.

කමින්ස් ලකුණු 54 ට කඩුලු 3 ක් දවාගත් අතර ලකුණු 51 කට කඩුලු 2 ක් දවාගත් නේතන් ලයන්, සිය 564 වැනි ටෙස්ට් කඩුල්ල දවාගනිමින් ග්ලෙන් මැග්‍රාත් පසුකර ගියේය. ෂේන් වෝන් (708) හැරුණු විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙසින් නේතන් ලයන් වාර්තා පොතට එක්විය. 

එංගලන්තයේ එකම සාර්ථකත්වය වූයේ මිචෙල් ස්ටාක්ට කඩුලු නොදී සිටීමයි. එහෙත් ඕස්ට්‍රේලියානු මුල් ඉනිමේ කඩුලු 6 ක් ලකුණු 244 කට බිඳ වැටී සිටියදී පිටියට පිවිස් ස්ටාක්, පන්දු 75 කට මුහුණ දෙමින් අර්ධ ශතකයක් (54) ලබාගත් අතර ස්ටාක්ගේ පිතිහරඹය නිසාම ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 371 ක් ලබාගත්හ. ස්ටාක්ගේ පැමිණීමත් දැවී යාමත් අතර ඕස්ට්‍රේලියානු පිලට එක්වූ ලකුණු සංඛ්‍යාව ලකුණු 104 කි. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 371 යි
(ට්‍රැවිස් හෙඩ් 10, ජේක් වෙදරල්ඩ් 18, මානස් ලැබුෂේන් 19, උස්මන් කවාජා 82, ඇලෙක්ස් කේරි 106, ජොෂ් ඉංග්ලිෂ් 32, පැට් කමින්ස් 13, මිචෙල් ස්ටාක් 54, ජෙෆ්රා ආචර් 53/5, බ්‍රයිඩන් කාර්ස් 89/2, විල් ජැක්ස් 105/2)

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 8 ට 213 යි
(බෙන් ඩකට් 29, ජෝ රූට් 19, හැරී බෲක් 45, බෙන් ස්ටෝස්ක් නොදැවී 45, ජැමී ස්මිත් 22, ජෙෆ්රා ආචර් නොදැවී 30, පැට් කමින්ස් 54/3, ස්කොට් බෝලන්ඩ් 31/2, නේතන් ලයන් 51/2)

- 213


අදහස් (0)

එංගලන්තය පරාජයේ දොරටුවට ඇදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.