Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියානුවෝ 2-0 කින් ටෙස්ට් තරගාවලිය දිනති
බැංගලූරු ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ 2-0 කින් ටෙස්ට් තරගාවලිය දිනති

editorial - 2022 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව බෙන්ගලූරුහි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දින 3 ක් නිමා වීමටත් මත්තෙන් ලකුණු 238 කින් ජය ලැබූ ඉන්දීය ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියත් 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වූහ.

මෙම ජයග්‍රහණයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමටද ඉන්දියාවට හැකි විය. මෙම තරගාවලියට පෙර ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී ලැබූ පරාජයත් සමග එහි පස්වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

දෙවැනි දිනය වූ ඊයේ (13 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 28 ක් ලබා සිටී ශ්‍රී ලංකාවට අද (14 වැනිදා) දිනයේදී සිය දෙවැනි ඉනිමට එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 180 ක් පමණි. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න (107) හතරේ පහර 15 ක් සමග සිය 14 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේය.

කුසල් මෙන්ඩිස් (54) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද දිමුත් සමත් වූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. ශතකය ලබාගැනීමෙන් අනතුරුව ජස්ප්‍රීත් බුම්රාගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙන් දිමුත් පිටියෙන් ඉවත්ව ගිය අතර එතැන් පටන් ලකුණු 4 ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 4 ම බිඳ වැටිණ.

තරමක් වේගයෙන් ලකුණු රැස්කළ කුසල් මෙන්ඩිස් පන්දු 60 කදී හතරේ පහර 8 ක් සමග සිය අර්ධ ශතකය ලබාගත්තේය. රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් ගැසීමට යෑමෙදී රිෂාබ් පාන්ට්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් මෙන්ඩිස් දැවී ගියේය. මෙන්ඩිස්ගේ අඩි පාරේම ගිය නිරේෂන් දික්වැල්ලද සිය කඩුල්ල අහිමිකර ගත්තේ අක්සර් පටේල්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට යෑම හේතුවෙනි.  

කණ්ඩායමේ ප්‍රවීණතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම එක් ලකුණකට සීමා කිරීමට රවින්ද්‍ර ජදේජා සමත් විය. උප නායක ධනංජය ද සිල්වාට ලකුණු 4 ක් ලබා සිටියදී ආපසු ක්‍රීඩාගාරය බලා යෑමට සිදුවූයේ රවිචන්ද්‍රන් අෂ්වින්ගේ පන්දුවක් හමුවේ හනුමා විහාරි අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙනි. අක්සර් පටේල්ගේ දෙවැනි ගොදුර බවට පත්වන විට චරිත් අසලංක ලබා සිටියේ ලකුණු 5 ක් පමණි.

ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ අවසන් ටෙස්ට් තරගය මෙයයි. ඔහු ටෙස්ට් තරග 70කට සහභාගි වී කඩුලු 171ක් බිඳහෙළීය.

 


අදහස් (1)

ඉන්දියානුවෝ 2-0 කින් ටෙස්ට් තරගාවලිය දිනති
  • Kirikat looliya Monday, 14 March 2022 08:19 PM

    ලෝකයේ ඉන්න හොඳටම ෆිට්නස් තියන කණ්ඩායමනේ ලංකාවෙන් යැව්වේ.. ඒ නිසා තරගාවලිය 2-0 ලෙස දිනනවා. ජයවේවා ශ්‍රී ලංකා ක්‍රිකට්...! තව හොඳට ෆිට්නස් කරන්න...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.