Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අවසන් සටනේදී වේග පන්දු යවන්නන්ට වැඩි බරක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

අවසන් සටනේදී වේග පන්දු යවන්නන්ට වැඩි බරක්

editorial - 2023 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ සිට..)

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී හෙට (19 වැනිදා) පැවැත්වෙන ‍එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා යොදා ගැනීමට නියමිත තණතිල්ල කොළ පැහැති ස්වභාවයක් ගැනීම හේතුවෙන් එහිදී වේග පන්දු යවන්නන්ට වැඩි බරක් පැටවෙනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (18 වැනිදා) ‍දහවලේද, ඉන්දීය කණ්ඩායම සවස් වරුවේද සිය අවසන් පුහුණු සැසිවලට සහභාගි වූ නමුත් කණ්ඩායම් දෙ‍කේම ඇතැම් ක්‍රීඩකයන් පමණක් ඊට එක්ව සිටියහ. කණ්ඩායම් දෙකේම නායකයන් තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවලදී කියා සිටියේ තරගය සඳහා යොදා ගැනීමට නියමිත තණතිල්ල වේග පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙන දෙනු ඇති බවය.

ඒ අනුව හෙට තරගයේදී ඉන්දීය කණ්ඩායම දිනවීම සඳහා මොහොමඩ් සාමිට, ජස්ප්‍රීට් බුම්රාට සහ මොහොමඩ් සිරාජ්ටද, ඕස්ට්‍රේලියානු කණ්ඩායම දිනවීම සඳහා මිචෙල් ස්ටාක්ට, ජොෂ් හෙසල්වුඩ්ට සහ නායක පැට් කමින්ස්ටද වැඩි බරක් පැටවෙනු ඇත. මෙවර තරගාවලියේදී සාමි කඩුලු 23 ක්ද, බුම්රා කඩුලු 18 ක්ද, සිරාජ් කඩුලු 13 ක්ද දවාගෙන ඇති අතර‍‍ හෙසල්වුඩ් කඩුලු 14 ක්ද, ස්ටාක් සහ කමින්ස් කඩුලු 13 බැගින්ද බිඳහෙළා සිටිති.

දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාවන් අනුව ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ට වඩා ඉන්දීය වේග පන්දු යවන්නන් ඉදිරියෙන් සිටියද, ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්න්න තිදෙනා සතුව ඇති අත්දැකීම් සමූහයද අති විශාලය. දෙවැනි අවසන් පූර්ව තරගයේදී මුල් ඕවර 13 තුළ දකුණු අප්‍රිකාව ලකුණු 32 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගැනීම ඕසේට්‍රේලියානු වේග පන්දු යවන්නන් සමත් වීමද එහිදී කිසිසේත් අමතක කළ නොහැකිය.

තරගාවලි‍යේ මූලික වටය තුළ නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැතියේ තරග 4 ක් පමණක් වන අතර ඉන් 3 කදීම ජය ලැබුවේ දෙවැනියට පන්දුවට පහරදුන් කණ්ඩායමය. එම තරගවලදී කාසියේ වාසිය දිනූ කණ්ඩායම් 3 ක්ම පළමුවෙන් පන්දු යැවීමට තීරණ කළ අතර කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එකම කණ්ඩායම වූ ඇෆ්ඝනිස්ථානය, එහිදී දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් විය.

ඒ අනුව මෙම තරග‍යේදීද කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායමට උචිතම තීරණය වන්නේ පළමුවෙන් පන්දු යැවීමය. රාත්‍රී කාලයේදී ක්‍රීඩාංගණයට පින්න ඇද වැටීමත් සමග පන්දු යවන්නන්ට පාලනයකින් යුතුව පන්දු යැවීමට අපහසු වීම ඊට ප්‍රධානම හේතුව වනු ඇත. කෙසේ වුවත් කාසියේ වාසිය පරාජය වීම හේතුවෙන් පළමුව පන්දුවට පහරදී එංගලන්තය පරාජය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වූයේද මෙම ක්‍රීඩාංගණයේදීමය.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 150 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 83 ක් ජයගැනීමට ඕස්ට්‍රේලියාවද, 57 ක් ජයගැනීමට ඉන්දියාවද සමත්ව තිබේ. සෙසු තරග 10 විසඳුමකින් තොරව නිමාවට පත්ව ඇත. එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ තරග 13 කදී මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ හමුවී ඇති අතර ඉන් තරග 8 ක ජය ඕස්ට්‍රේලියාවත්, 5 ක ජය ඉන්දියාවත් සතුවී තිබේ.

එම තරග අතරින් 2003 වසරේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මෙන්ම 2015 වසරේදී එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය ප්‍රධාන තැනක් ගනී. 2003 අවසන් මහ තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ශූරතාව දිනූ ඕස්ට්‍රේලියානුවෝ, 2015 අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.

රිකී පොන්ටින් (‍නොදැවී 140), ඩේමියන් මාටින් (නොදැවී 88) සහ ඇ‍ඩම් ගිල්ක්‍රිස්ට්ගේ (57) දක්ෂ පිතිහරඹයන් හමුවේ 2003 වසරේ පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 359 ක් රැස්කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. එහෙත් සචින් ටෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාග්, සෞරව් ‍ගංගුලි, රාහුල් ඩ්‍රාවිඩ් සහ යුවරාජ් සිං වැනි ප්‍රභල පිතිකරුවන් සිටි ඉන්දීය කණ්ඩායමට එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමට නොහැකි විය.

ඒ අනුව මෙවර අවසන් මහ තරගයේදී ඉන්දියාවට වසර 20 කට පෙර ලද පරාජයේ වාඩුව ගැනීමට අවස්ථාවක් හිමිව තිබේ. මෙවරද ඉන්දියාවට 2003 කණ්ඩායමේ සිටි පිතිකරු බළෑණියට නොදෙවෙනි පිතිකරුවන් රැසක්ම සිටින අතර විරාට් කෝලි, ‍රෝහිත් ශර්මා, ශුබ්මන් ගිල්, ලොකේෂ් රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් ඉන් ප්‍රධාන තැනක් ගනිති. එහෙත් 2003 ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සතුව සිටි ‍ග්ලේන් මැග්‍රාත්, බ්‍රෙට් ලී සහ ‍බ්‍රැඩ් හොග්ට නොදෙවෙනි පන්දු යවන්නන් පිරිසක් මෙවර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතුව සිටින බවද එහිදී ඉන්දීය කණ්ඩායම මතක තබාගත යුතුය.

 

ඕස්ට්‍රේලියානු සංචිතය
පැට් කමින්ස් (නායක), ට්‍රැවීස් හෙඩ්, ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ස්ටීවන් ස්මිත්, මානස් ලැබුෂේන්, ජොෂ් ඉංග්ලිෂ්, මාකස් ස්ටොයිනිස්, ෂෝන් ඇබට්, ඇඩම් සම්පා, ජොෂ් හෙසල්වුඩ්, ග්ලේන් මැක්ස්වෙල් , මිචෙල් ස්ටාක්, ඇලෙක්ස් කේරි සහ කැමරන් ග්‍රීන්

ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ලොකේෂ් රාහුල්, සූර්යකුමාර් යාදව්, රවින්ද්‍ර ජදේජා, මොහොමඩ් ශාමි, ජස්ප්‍රීට් බුම්රා, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, ප්‍රසිධ් ක්‍රිෂ්ණා, ඉෂාන් කිෂන්, ශර්ධුල් ඨාකූර් සහ රවිචන්ද්‍රන් අෂ්වින් 

ඡායාරූප - අයි.සී.සී. අනුග්‍රහයෙනි


අදහස් (0)

අවසන් සටනේදී වේග පන්දු යවන්නන්ට වැඩි බරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.