Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාව ඉදිරිය බලයි

ශ්‍රී ලංකාව ඉදිරිය බලයි

දමින්ද විජේසූරිය - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර එක හමාරකට පමණ ඉහතදී විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින කුසල් මෙන්ඩිස්ද සංචිතයට ඇතුළත් කර ඇති නමුත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු තරගයේදී මේ දෙදෙනාටම අවස්ථාව ලැබේද යන්න සැක සහිත බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු වැන්න ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහති නුවරදී ඉරිදා (5 වැනිදා) පැවැත්වෙයි. ශ්‍රී ලංකාවට සාපේක්‍ෂව බලද්දී තරමක් සීතල ප්‍රදේශයක් වන ගුවහති නුවර අද (3 වැනිදා) පස්වරු 2.30 වන විටත් මීදුමෙන් වැසී තිබූ බවත් පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශ 18 ක් පමණ වු බවත් දැනගන්නට ලැබිණ.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉරිදා රාත්‍රී 7.00 ට ආරම්භ වේ.

රාත්‍රී 7.00 වන විට පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශය 17 ක් දක්වා අඩුවන බව කියැවේ. රාත්‍රියේ ඇතිවිය හැකි පින්න තරගය සම්බන්ධයෙන් සෑහෙන බලපෑමක් කරනු ඇතැයි යන්නද ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානයට ලක්ව තිබේ. තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම් සකස් කෙරෙන්නේ ඒ අනුවය.

තරගාවලියට යාමට පෙර සිටම පළමු තරගයේදී පිතිකරු ලයිස්තුව සම්බන්ධයෙන් කිසියම් සැලැස්මක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණ. ටෙස්ට් පිලේ ප්‍රබලතම පිතිකරුවකු වන ධනංජය ද සිල්වා විස්සයි-20 කණ්ඩායමේ පන්දු යවන්නකු අතරට වැටී ඇත්තේ එබැවිනි.

වාර්තා වන තොරතුරු අනුව ධනංජය ද සිල්වා විස්සයි-20 තරග සඳහා එතරම් මනාපයක් නොදක්වයි. එහෙත් ඔහුව විස්සයි-20 කණ්ඩායමට කැඳවා ඇත්තේ ඔහුගේ දක්‍ෂ පන්දු රැකීම සහ අවස්ථානුකූලව ඕවර 4 ක් යැවීමේ හැකියාව මතය. ඒ අතරම කිසියම් හෙයකින් ඉදිරි පෙළ පිතිකරුවන් ඉක්මනින් දැවී ගියහොත් අවසන් පිතිකරුවන් පස්දෙනා අතරේ ටෙස්ට් මට්ටමේ පිතිකරුවකු සිටින හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂිත ඉලක්කය වන ලකුණු 180 ට යාමේ වැඩි අවස්ථාවක් පවතී.

ඇන්ජලෝ මැතිව්ස් අවසන් වරට විස්සයි-20 තරගයක් ක්‍රීඩා කළේ 2018 අගෝස්තු මාසයේදීය. එතෙක් මෙතෙක් කාලය මාස 16 කි. එහෙත් මැතිව්ස් යනු ඕනෑම අවස්ථාවකදී ලකුණු අතරට පැමිණීමේ හැකියාව ඇති පිතිකරුවෙකි. එකම ප්‍රශ්නය පන්දු යැවීම සම්බන්ධයෙන් ඔහු දක්වන උනන්දුවයි.

කුසල් මෙන්ඩිස් දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටී. ගෙවීගිය වසරේ පැවැති විස්සයි-20 තරග වලදී කුසල් මෙන්ඩිස්ගේ ලකුණු රැස්කිරීම් සටහන් වන්නේ 17, 0, 4, 79, 26, 0, 1 සහ 13 ක් වශයෙනි.

තත්ත්වය එසේ වුවත් ඇන්ජලෝ මැතිව්ස්ගේ හැකියාව සහ පලපුරුද්ද මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින තීක්‍ෂණ බුද්ධියත්, කුසල් මෙන්ඩිස් විසින්ම වටහා නොගන්නා ලද හැකියාවත් කෙරේ තේරීම් කමිටු නිලධාරීන් මෙන්ම නව පුහුණුකරු මිකී ආතර් මහතාද විශ්වාසය තබා සිටිති.

විස්සයි-20 තරග 24 කට සහභාගි වී සිටින කුසල් මෙන්ඩිස් මේ දක්වා ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 5ක් පමණි. විස්සයි-20 තරගයකදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 19.70 ක් ලෙසින් සටහන් වූවත් ඔහුගේ සැබෑ දක්‍ෂතාව ඊට බොහෝ ඉහළින් පවතින්නකි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (3 වැනිදා) පුහුණුවීම් නොකළේය. එහෙත් ක්‍රීඩකයෝ ව්‍යායාම සහ පුහුණු අභ්‍යාස වල නිරත වූහ.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට කවදත් හිසරදයක් වන රෝහිත් ෂර්මා මෙම තරගාවලියේදී විවේක ගන්වා ඇති අතර ජස්ප්‍රීට් බුම්රා ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබේ. සබීනා පිටියේදී කොදෙව් පිලට එරෙහිව පසුගිය සැප්තැම්බරයේදී ලකුණු 27 කට කඩුලු 6 ක් දවාගැනීමෙන් පසුව ජස්ප්‍රීට් බුම්රා මේ දක්වා ඉහළ මට්ටමේ තරගයකට සහභාගි වී නැත. පිට කොන්දේ ආබාධයකින් සුවය ලබා පැමිණෙන බුම්රා තවමත් පන්දු යවා ඇත්තේ පුහුණු දැළ තුළදී පමණි.

රෝහිත් ෂර්මා විවේක ගන්වා ඇති බැවින් ෂිකාර් ධවාන් සහ ලෝකේෂ් රාහුල් ආරම්භක පිතකරුවාගේ භූමිකාවට පිවිසෙනු ඇත.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සලකන්නේ අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් ලෙසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩකයන් නොමැති වූ, දෙවැනි පෙළ කණ්ඩායමක් පාකිස්තානයට ගොස් විස්සයි-20 තරගාවලියේදී පාකිස්තානය 3-0 කින් පරාජය කළේය. වඩාත් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සමගින් ගිය ඕස්ටේ්‍රයානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක් ලෙසින් පරාජය විය. එබැවින් දැන් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වී ඇත්තේ වත්මන් කණ්ඩායම ඉන්දියාවේදී ඉන්දියානුවන්ට කෙසේ මුහුණ දෙන්නේද යන්නයි.


ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, භානුක රාජපක්‍ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිඳු හසරංග, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත

ඉන්දීය සංචිතය    
විරාට් කෝලි (නායක), ෂිකාර් ධවාන්, ලෝකේෂ් රාහුල්, ශ්‍රියාස් අයියර්, මනීෂ් පාණ්ඬේ, සංජු සැම්සන්, රිෂාබ් පන්ට්, ෂිවම් ඩූබ්, යුෂ්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, රවීන්ද්‍ර ජදේජා, ශර්දුල් ඨාකූර්, නව්දීප් සයිනි, ජස්ප්‍රීට් බුම්රා සහ වොෂිංටන් සුන්දර්

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ඉදිරිය බලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.