Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 133 කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 78 ක දැවැන්ත ජයක් අත්පත් කරගත්තේය. තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාලියේදී ලබාගත් 1-0 ක ජයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණියේය.
දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 211 ක් පසුපසින් සිටි බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සවස ක්‍රීඩාව නතර කරන විටත් ලකුණු 115 කට කඩුලු 6 ක් අහිමිකරගෙන සිටියේය. තරගයේ සිව්වැනි දිනය වූ අද (28 වැනිදා) බංග්ලාදේශ පිලේ අවසන් කඩුලු හතරම දවාගැනීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවශ්‍ය වූයේ විනාඩි 31 ක් අතරතුර යැවූ ඕවර 5.4 ක් පමණි.
නැවත වරක් පන්දු යැවීමේ සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ ප්‍රභාත් ජයසූරිය, 12 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. තවමත් ටෙස්ට් තරග 22 කට පමණක් සහභාගි වී සිටින වමත් වේග පන්දු යවන්නා මේ දක්වා දවාගන්නා ලද ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 122 කි.
බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී ධනංජය ද සිල්වා (13/2) සහ තරිඳු රත්නායක (19/2) ප්‍රභාත්ට අනගි සහයෝගයක් දුන්හ.
තරගය පුරාම බංග්ලාදේශයට එකම අර්ධ ශතකයක් හෝ ලබාගත නොහැකි විය. දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තරමක් හෝ හිසරදයක් වූයේ නම් නායක නජ්මුල් හොසේන් (19) සහ මුෂ්ෆිකුර් රහීම් (26) දෙදෙනා පමණි. මේ දෙදෙනාම දෙවැනි ඉනිමේදී විනාඩි 70 කට වැඩි කාලයක් පිටියේ රැඳුණ නමුත් තරගයෙන් පසුව නායකත්වයේ කටු ඔටුන්න බිම දමා යාමට සූදානමින් සිටි නජ්මුල්ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයක් තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.