Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලැබුස්චේන්ගෙන් සාර්ථක ආරම්භයක්

ලැබුස්චේන්ගෙන් සාර්ථක ආරම්භයක්

editorial - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මානස් ලැබුස්චේන්ගේ ශතකය (නොදැවී 130) හමුවේ නවසීලන්තයට එරෙහිව සිඩිනි ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භවූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලකුණු 283 ක් රැස්කර සිටියේය. මානස් ලැබුස්චේන් සිය ටෙස්ට් දිවියේ පිට පිට තරග 5 කදී ලබාගත් සිවුවැනි ශතකය ලෙස මෙම ශතකය වාර්තා වන්නේය.

 2020 වසරේ පළමු ටෙස්ට් ශතකය ලැබුස්චේන්ගේ පිත්තෙන් වාර්තා වූ අතර පන්දු 210 කට මුහුණදුන් ඔහු හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 130 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේය. අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මැතිව් වේඞ් ලකුණු 22 ක් ලබා සිටින්නේය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 95 ක් තුල පිටියෙන් ඉවත් කිරීමට නීල් වැග්නර් සහ කොලින් ඩි‘ග්‍රෑන්ඞ්හෝම් සමත් වුවද ඉන් නොසුලුණු මානස් ලැබුස්චේන් සහ ස්ටීවන් ස්මිත් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 156 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

ස්ටිවන් ස්මිත් 29 වැනි ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කිරීමට සමත්වූ අතර පන්දු 182 කට මුහුණදුන් ඔහු හතරේ පහර 4 ක් සමගින් ලකුණු 63 ක් රැස්කර සිටියදී කොලින් ඩි‘ග්‍රෑන්ඞ්හෝම්ගේ පන්දුවක් හමුවේ රොස් ටේලර් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

නවසීලන්ත නායක ටොම් ලේතම් වේගපන්දු යවන්නන් තිදෙනෙකු සහ දඟපන්දු යවන්නන් දෙදෙනෙකු යොදාගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මෙල්ල කිරීමට උත්සහ ගත්තද ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වී ගියහ.

නවසීලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක කේන් විලියම්සන් ආබාධයකට ලක්වීම හේතුවෙන් තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වය ටොම් ලේතම්ට හිමිවී තිබේ. නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවූ 30 වැනි නායකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වන්නේය.


ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 283
(ඩේවිඩ් වෝනර් 45, මානස් ලැබුස්චේන් නොදැවී 130, ස්ටීවන් ස්මිත් 63, මැතිව් වේඞ් නොදැවී 22, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 63/2)

...


අදහස් (0)

ලැබුස්චේන්ගෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.