Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මැතිව්ස් යළි කැඳවයි

මැතිව්ස් යළි කැඳවයි

දමින්ද විජේසූරිය - 2019 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ලබන සතියේදී විස්සයි-20 තරග තුනක් සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ඇතුළත් කර තිබේ. මැතිව්ස් මෙන්ම ධනංජය ද සිල්වාත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ අවසන් සංචාරය වූ ඕස්ටේ්‍රලියානු සංචාරයෙන් ඉවත් කර තිබිණ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාම නැවතත් කණ්ඩායමට කැඳවා ඇත්තේ නව පුහුණුකරු මිකී ආතර් මහතාගේ සුවිශේෂී සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවය.

කඩුලු අතර දිවයාමේ මන්දගාමී බව හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහර දෙන අවස්ථාවලදී සෙසු පිතිකරුවන් දුවද්දී දැවී යන බවට හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා චෝදනා කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය අගෝස්තු මාසයේදී කෙරුණු නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේ සිට මැතිව්ස් විස්සයි-20 පිලෙන් පමණක් නොව එක්දින කණ්ඩායමෙන්ද ඉවත් කෙරිණ.

විස්සයි-20 තරග 72 කදී ලකුණු 1055 ක් ලබා ඇති නමුත් ඇන්ජලෝ මැතිව්ස් අවසන් වරට විස්සයි-20 අන්තර්ජාතික තරගයකට සහභාගි වී ඇත්තේ 2018 අගෝස්තු මාසයේදීය.

එසේ වුවත් මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත්තේ පන්දු යවන්නකු වශයෙන් ඕවර 2 ක් වත් යැවීමට යොදාගැනීමේ අදහස ඇතිවය. මැතිව්ස් සහ දසුන් ශානක දෙදෙනාට ඕවර 4 ක් බෙදාගත හැකි නම් හෝ හොඳින් පන්දු යවන අවස්ථාවකදී දෙදෙනාගෙන් අයකුට ඕවර 4 ම යැවිය හැකිනම් අතිරේක පිතිකරුවකු කණ්ඩායමට එකතු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට ලැබෙනු ඇත. එවන් අවස්ථාවකදී ශ්‍රී ලංකා පිලේ සංයුතිය පිතිකරුවන් 7 ක් සහ පන්දු යවන්නන් 4 ක් වනු ඇත.

ටෙස්ට් පිලේ ඉදිරිපෙළ පිතිකරුවකු වන නමුත් ධනංජය ද සිල්වා නැවතත් විස්සයි-20 කණ්ඩායමට කැඳවා ඇත්තේ පන්දු යවන්නකු වශයෙනි. දඟ පන්දු යවන්නකු වශයෙන් ඕවර 4 ම යැවීමට ධනංජයට සිදුවනු ඇත.

ඒ අතරම යම් හෙයකින් ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වුවහොත් අංක 7 ස්ථානයේදී ලකුණු රැස්කිරීමේ වගකීම බාරගැනීමට ධනංජය සිටී. අංක 8 සහ 9 ස්ථාන සඳහා තවත් පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වන වනිඳු හසරංග සහ ඉසුරු උදාන සිටිති.

මේ අතර ඉන්දීය සංචාරය සඳහා තෝරා ගන්න ලද වේග පන්දු යවන්නා වන නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු ඉරිදා පුහුණුවීම් කිරීමේදී නැවතත් තුවාල ලබා තිබේ. ඔහු වෙනුවට පාකිස්තානු සංචාරයේදී පාදයේ කලව පිටුපස මස්පිඬුව ඉරීයාමට ලක්වූ කසුන් රාජිත කැඳවීමේ සූදානමක් පවතී.

කසුන්ගේ කලව පිටුපස මස්පිඬුව මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇති අතරම අද (30 වැනිදා) ඔහුට දුන් පරීක්‍ෂණයෙන් ඔහු සමත් වී තිබේ. කෙසේ වෙතත් හෙට (31 වැනිදා) ඔහුට තවත් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට ලක්කිරීමෙන් පසුව කණ්ඩායමට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත. ඔහු නියමිත ශාරීරික යෝග්‍යතාවට නොමැති නම් ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කෙරෙනු ඇත.
 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු විස්සයි-20 තරගය ජනවාරි 5 වැනිදා ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නුවරදී පැවැත්වේ. දෙවැනි විස්සයි-20 තරගය ජනවාරි 7 වැනිදා ඉන්දෝර් නුවරදීද තුන්වැන්න 10 වැනිදා පූනේ නුවරදීද පැවැත්වේ.

ඉන්දීය සංචාරය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 27 වැනිදා තෝරා ගන්නා ලද අතර එය ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය වෙත යවා තිබේ.


ඉන්දීය සංචාරය සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම.
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, ඉසුරු උදාන, ළහිරු කුමාර, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන්

 


අදහස් (2)

මැතිව්ස් යළි කැඳවයි
  • sk Tuesday, 31 December 2019 06:21 AM

    කිසිම පදනමක් නැතුව තෝරපු කණ්ඩායමක්. දක්ෂයින්ට වඩා අදක්ෂයෝ ඇතුලේ....

    Reply 0       0

    batman Tuesday, 31 December 2019 07:35 AM

    මොකටද කුසල් මෙප්ඩිස් දාලා තියෙන්නේ.....?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.