Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කමිල් මිෂාර - කුසල් ජනිත් ශ්‍රී ලංකාව දිනවති
තුන්වැනි විස්සයි-20 තරගය

කමිල් මිෂාර - කුසල් ජනිත් ශ්‍රී ලංකාව දිනවති

editorial - 2025 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලන තරගාවලියට යන්නට මත්තෙන් කදිම නැඟිටීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම හරාරේ නුවරදී අද (7 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී කඩුලු 8 ක අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළහ. මෙම ජයත් සමගින් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකිවිය. 

ලකුණු 192 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ, ඕවර 2.2 ක් ඉතිරිව තිබියදීම කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 193 ක් ලබාගත්තේ ශ්‍රී ලංකා විස්සයි-20 තරග ඉතිහායේ දෙවැනි සාර්ථක හඹායාම වාර්තා කරමිනි. විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකාවේ සාර්ථකම හඹායාම ලෙසින් සටහන් වන්නේ 2018 පෙබරවාරි මාසයේදී බංග්ලාදේශ පිලට එරෙහිව මීර්පූර් නුවරදී ලකුණු 194 ක ඉලක්කයක් කරා යාමයි. 

විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ලකුණු 192 ක ඉලක්කයක් යනු අසීරු ඉලක්කයකි. පැය 24 කට කලින් (ඊයේ) විස්සයි-20 ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගොස් සිටි නමුත් ශ්‍රී ලංකා පිතිකරුවෝ සසළ නොවූහ. ඒ වෙනුවට ධෛර්යවන්තව පිතිහරඹය ඇරඹූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා, පන්දු 32 කින් ලකුණු 58 ක් ශ්‍රී ලංකා පුවරුවට එකතු කළහ.

පළමුව මෙන්ඩිස්ගේ උඩපන්දුව රැකගත් සිම්බාබ්වේ නායකයා තමාම පන්දුව අතට ගනිමින් පැතුම් නිස්සංකවත් පිටියෙන් ඉවත් කළේය. එහෙත් අනතුරුව පැමිණි කමිල් මිෂාර සහ කුසල් පෙරේරා දෙදෙන තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක අති විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. කමිල් මිෂාර පන්දු 30 කින් සිය මංගල අන්තර්ජාතික අර්ධ ශතකය සම්පූර්ණ කරන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ. 

දීප්තිමත් අනාගතයකට හිමිකම් කීමේ පෙරනිමිති පෙන්වූ කමිල් මිෂාර පන්දුවට පහර දුන්නේ පරිණත පිතිකරුවකුගේ විලාසයෙනි. ඔහුගේ ඇතැම් පහරවල තිබූ කාලය මැනීම අදහාගන්නට බැරි තරම් නිවැරදි විය. විශේෂයෙන්ම සිය අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව, ලොෆ්ටඩ් ඕන් ඩ්‍රයිව් පහරකින් කමිල් මිෂාර ගැසූ හයේ පහර උසස් තත්ත්වයේ පිතිකරුවකු බිහිවීමේ සුබ ලකුණු පෙන්වීය. 

තවමත් 24 හැවිරිදි ක්‍රීඩකයකු වන නමුත් කමිල් මිෂාර පෙන්නුම් කළේ විස්සයි-20 තරගයකදී ලකුණු ලබාගැනීමට අවශ්‍ය වන්නේ ‘දඩිබිඩි’ පිතිහරඹයක් නොව, කල්යල් බලා, ක්‍රමාණුකූලව දිගහැරෙන පිතිහරඹයක් බවයි. පන්දු 43 කින් ඔහු ලබාගත් ලකුණු 73 හතරේ පහර 6 කින් සහ හයේ පහර 3 කින් අලංකාර විය. 

පළමු විස්සයි-20 තරගයේදී අසාර්ථක වීම හේතුවෙන් දෙවැනි තරගයේදී ස්ථානය අහිමි කරගත් නමුත් කුසල් ජනිත් පෙරේරා අද තරගයේද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක මෙහෙවරක් කළේය. කමිල් මිෂාරට ලකුණු ලබාගැනීමේ අවසරය දුන් පළපුරුදු වමත්කාරයා, පන්දු 26 කින් ලකුණු 46 ක් ලබාගත්තේ තරුණයා වෙත තිබූ පීඩනය ළිහිල් කරමිනි. 

පළමු ඕවර 6 නිමාවන විටත් ලකුණු 67 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ, 10 වැනි ඕවරය නිමාවන විට ලකුණු 101 ක් පුවරුවට එකතු කළහ. ඕවර 2 කදී හැර, ඉනිම ආරම්භයේ සිට අවසානය දක්වා සෑම ඕවරයකදීම සිම්බාබ්වේ පිලට වඩා ඉදිරියෙන් සිටීම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ සැඟවුණු සාධකය විය. එය ගණිතමය ආක්‍රමණයකි. 

සිම්බාව්බේ ඉනිමේ අවසන් ඕවරය ලකුණු 6 කට සීමාකරගත් මතීෂ පතිරණ කඩුලු දෙකක් ද දවාගත්තේය. එහෙත් ඒ වන විටත් වෙන්නට ඕනෑ හරිය සිදුවී තිබිණ. ඕවර 19 කින් ලකුණු 185 ක් උදුරාගත් සිම්බාබ්වේ පිතිකරුවෝ, නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 191 ක් ලබාගත්හ. 

ශ්‍රී ලංකා පන්දු යවන්නන් දරුණු පහරකෑමකට ලක්වූ මෙම තරගයේදී ඔවුන් විසින් යවන ලද ඕවර 20 න්, ඕවර 5 කදී හැර අනෙක් ඕවර 15 සෑම ඕවරයකදීම ලකුණු 8 කට වැඩියෙන් ලබාගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ පියවර ගත්හ. තරගයේ ආරම්භක ඕවර 6 නිමාවන විට සිම්බාබ්වේ ලකුණු පුවරුව කඩුලු 1 කට 58 ක් ලෙසින් සටහන් වී තිබිණ. එම ඕවර හයේදී සිම්බාබ්වේ පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ 10, 12, 9, 10, 10 සහ 7 ක් වශයෙනි. 

ආරම්භක පිතිකරු තඩිවංශේ මරුමානි හැරෙන්නට අනෙක් පිතිකරුවන් කිසිවකුට ලකුණු 30 සීමාව ඉක්මවා යා නොහැකි විය. එහෙත් ඔවුන් සියලු දෙනාගේම ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය (ප්‍රහාරාත්මක වේගය) 100 ඉක්මවා පැවතිණ. එම සීමාවට නොපැමිණියේ පන්දු 3 කින් ලකුණු 2 ක් ලබා දැවීගිය බ්‍රැඩ් එවන්ස් පමණි. 
සිම්බාබ්වේ ඉනිම හතරේ පහර 20 කින් සහ හයේ පහර 6 කින් සමන්විත වූ අතර පන්දු 44 කින් ලකුණු 51 ක් ලබාගත් මරුමානිගේ ඉනිමට හතරේ පහර 6 ක් සහ හයේ පහරක් ඇතුළත් වී තිබිණ. 

 

ඡායාරූප - සිම්බාබ්වේ ක්‍රිකට් අනුග්‍රහයෙනි

 


අදහස් (0)

කමිල් මිෂාර - කුසල් ජනිත් ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.