Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශූබ්මන්ගේ ද්විත්ව ශතකය ඉන්දියාව දිනවයි
නවසීලන්ත පිලේ ඉන්දීය සංචාරය

ශූබ්මන්ගේ ද්විත්ව ශතකය ඉන්දියාව දිනවයි

editorial - 2023 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශුබ්මන් ගිල්ගේ වාර්තාගත ද්විත්ව ශතකය හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාවට හැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 349 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ශූබ්මන් ගිල් පන්දු 149 කින් ලකුණු 208 ක් රැස්කළේ හයේ පහර 9 ක් සහ හතරේ පහර 19 ක් සමගිනි.

මෙම ද්විත්ව ශතකයත් සමග එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් ලාබාලම පිතිකරුවා ලෙස ශුබ්මන් වාර්තා අතරට එක්විය. මෙම තරගයට ක්‍රීඩා කරන විට ඔහු 23 වැනි වියේ පසුවිය. මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 24 හැවිරිදි ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන්ය.

රෝහිත් ශර්මා (34) සමග එක්ව පළමු කඩුල්ල සඳහා ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශුබ්මන්, ඉන් නොනැවතී සූර්යකුමාර් යාදව් (31) සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 65 ක්ද, හර්දීක් පාණ්ඩ්‍යා (28) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 74 ක්ද එක්කරමින් ඉන්දීය ඉනිම ගොඩනැගුවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 350 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 337 ක් පමණි. මයිකල් බ්‍රාස්වෙල් පන්දු 78 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 12 ක් සමග වේගවත් ලකුණු 140 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

ලකුණු 131 කට කඩුලු 6 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී මිචෙල් සෑන්ට්නර් (57) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ලකුණු 162 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද බ්‍රාස්වෙල් සමත් වූ නමුත් එය නවසීලන්තයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. පන්දු 45 කදී වාර්තා වූ සෑන්ට්නර්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 349
(රෝහිත් ශර්මා 34, ශුබ්මන් ගිල් 208, සූර්යකුමාර් යාදව් 31, හර්දීක් පාණ්ඩ්‍යා 28, ඩර්ලි මිචෙල් 30/2, හෙන්රි ශිප්ලි 74/2)

නවසීලන්තය - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 337
(ෆින් ඇලන් 40, හෙන්රි නිකෝල්ස් 18, ටොම් ලේතම් 24, මයිකල් බ්‍රාස්වෙල් 140, මිචෙල් සෑන්ට්නර් 57, මොහොමඩ් සිරාජ් 46/4, කුල්දීප් යාදව් 43/2, ශර්ධුල් ඨාකූර් 54/2)


-036


අදහස් (0)

ශූබ්මන්ගේ ද්විත්ව ශතකය ඉන්දියාව දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.