Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner මැතිව් ඔලිම්පික් පරිසාධන මට්ටම හඹා යයි

මැතිව් ඔලිම්පික් පරිසාධන මට්ටම හඹා යයි

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


අගෝස්තු මස බ‍්‍රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අපේක්‍ෂාවෙන් තවත් තරගාවලි තුනකට සහභාගිවීමට සාග් රන් පදක්කම් ලාභී පිහිනුම් ශූර මැතිව් අබේසිංහ සූදානම් වෙයි. මැතිව්ගේ පුහුණුකරු සහ ඔහුගේ පියා වන ප‍්‍රවීන පිහිනුම් පුහුණුකරු මනෝජ් අබේසිංහ මහතා පවසන්නේ අගෝස්තු මස අවසානයේදී මැතිව් යළිත් ඇමරිකාවේ ටෙක්සාස් සරසවියට ගොස් සිය වැඩි දුර ඉගෙනීමේ කටයුතු මෙන්ම පිහිනුම් පුහුණුව සඳහා යොමුවන බවයි.

ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් හතක් සමඟින් පදක්කම් 10 ක්ම ශ‍්‍රී ලංකාවට දිනා දුන් මැතිව් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් අතර එක රැයින් ජනප‍්‍රිය තරුවක් බවට පත්විය.

ඉන්දියාවේදී මැතිව් ගෙල පැළඳි රන් පදක්කම් හත සාග් ක‍්‍රීඩා උළෙලකදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයකු දිනාගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමීමකි. ශ‍්‍රී ලංකාවේ හිටපු පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ගේ වාර්තාව ද බිද දැමූ මැතිව්, මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේදී දකුණු ආසියානු පිහිනුම් වාර්තා හතරක්ද බිඳ දමමින් දස්කම් දැක්වීය.

අපේ‍්‍රල් මස ඩුබායි’හි පැවැත්වෙන ඩුබායි අන්තර්ජාතික විවෘත පිහිනුම් ශූරතාවලියද, අපේ‍්‍රල් මාසයේදීම  පැවැත්වෙන මැලේසියානු විවෘත පිහිනුම් ශූරතාවලියටද සහභාගිවී ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම මැතිව්ගේ ඉලක්කයයි.

එම උත්සාහයන් දෙකම අසාර්ථක වුවහොත් මැයි මාසයේ ජපානයේ ටෝකියෝ නුවරදී ජපන් විවෘත පිහිනුම් ශූරතාවලිය පැවැත්වෙන බැවින් ඊට සහභාගිවීමටද 19 හැවිරිදි මැතිව් දැන් සිටම සුදානම්වේ.

කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුව ප‍්‍රකාශ කරන්නේ ඔලිම්පික් පරිසාධන මට්ටමට ළඟා වූවත් නැතත් අතිරේක කී‍්‍රඩක ලයිස්තුවෙන් හෝ රියෝ ඔලිම්පික් තරගාවලියට මැතිව් අබේසිංහ ඇතුළත් කරගැනීමේ අවස්ථාවක් ශී‍්‍ර ලංකාවට ඇති බවයි.

මීටර 100 නිදහස් ආර ඉසව්වේ ඔලිම්පික් පරිසාධක මට්ටම ආසන්නයේ සිටින මැතිව් තත්පර 50.86 ක් ලෙස සිය හොඳම කාලය වාර්තා කර තිබේ. එම ඉසව්වේ ඔලිම්පික් පරිසාධක මට්ටම 50.68 කි.

මැතිව් ඩන්කන් අබේසිංහ, 1996 වසරේ ඇමරිකාවේ උපත ලැබීය.
වයස 9 සිට සිය පියාගේ උපදෙස් පරිදි පුහුණුවීම්වල නිරතවන මැතිව්, 2010 වසරේ සිට ලංකාවේ ආසියානු ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබීය. ආසියානු ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් මැතිව් වයස් කාණ්ඩ මෙන්ම ජාතික මට්ටමේ පිහිනුම් තරගවලට සහභාගිවෙමින් ජයග‍්‍රහණ රැසක් හිමිකර ගෙන තිබේ.

එනමුත් ශ‍්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන එමින් රන් පදක්කම් හතක් දිනාගත් මේ පිහිනුම් ශූරයා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අතර විවිධ මත ඇතිවී ඇතැයි මැතිව්ගේ පියා මනෝජ් අබේසිංහ මහතා පවසයි. මැතිව්, ලාංකිකයකු නොවන බවටත්, ඔහු පිහිනුම් ක‍්‍රීඩාවේ නිරත නොවී ඇමරිකාවේ හැදී වැඩුණු අයෙකු ලෙසත් ක‍්‍රීඩා කේෂත‍්‍රයේ ඇතැම් පිරිස් දක්වන අදහස් නිසා මැතිව්ගේ පියා මෙන්ම පුහුණුකරුවාද වන මනෝජ් අබේසිංහ මහතා මහත් කණගාටුවෙන් සිටී.

”ඔහුගේ ස්වරූපයේ ඇමරිකානු පෙනුමක් තියෙනවා වෙන්න ඇති, හැබැයි ගොඩක් දෙනා හිතන් ඉන්නවා අපි ඉන්නෙ ඇමරිකාවේ කියලා”

”2010 වසරේ ඉඳලා මැතිව් ලංකාවේ පාසල් ගියේ. ඔහු ආසියානු ජාත්‍යන්තර පාසලේ පිහිනුම් කණ්ඩායම නියෝජනය කරමින් දිනාගත් සහතිකපත්, කුසලාන  ඕනැ තරම් අප ළඟ තියෙනවා. අපොස සාමන්‍ය පෙළ, උසස්පෙළ විභාගවලටත් පෙනී සිටියා. 2012 දී මයිලෝ ක‍්‍රීඩා වර්ණ රාත‍්‍රියේදී වසරේ දක්ෂතම ක‍්‍රීඩකයා සම්මානය දිනාගත්තේත් මැතිව්” යයි මනෝජ් අබේසිංහ මහතා පැවසීය.

”අන්තර්ජාලයේ පළවී ඇති දේශීය ක‍්‍රීඩා පුවත් බැලූවොත් ඔහු ලංකාවේදී ලබා ඇති ජයග‍්‍රාහණ  ඕනෑම අයෙකුට දැකගත හැකියි. මැතිව් කියලා මුල් නම තිබ්බට ඔහු අබේසිංහ කෙනෙක්. අනික වෙනත් රටවල ඉඳලා පුහුණුවීම් කරලා ලංකාව නියෝජනය කරලා තමයි අද අපේ බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පදක්කම් ලබා තිබෙන්නේ” යයිද පැවසූ මනෝජ් අබේසිංහ මහතා....

”මැතිව්ට ලංකාවේ තරගයක් දෙන්න ක‍්‍රීඩකයකු නැතිවුණාම එයාට ඇමරිකාවේ ගිහිල්ලා එහේ දක්ෂ ක‍්‍රීඩකයන් එක්ක තරග කරලා වේගය වැඩි කරගන්න සිද්ධ වෙනවා”

”මැතිව් වයස 13 සිට ක‍්‍රීඩා කළේ ලංකාවේ. එයාට ඇමරිකාවයි, ලංකාවයි රටවල් දෙකෙන් එකක් තෝර ගන්න සිද්ධ වුණා. එයා තෝර ගත්තේ ලංකාව. මොන රටක සිටියත් මැතිව් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා කරනවා යැයි”  යයිද පැවසීය.
 
2007 වසරේදී 10 න් පහළ වයස් කාණ්ඩයේ මීටර 100 සමනළ ආර සහ මීටර 50 සමනළ ආර ඉසව් දෙකේම ඇමරිකාවේ ශූරයා වීමට ද මැතිව් සමත්ව ඇත.

2010 වසරේ සිට ජාතික කනිෂ්ඨ, වයස් කාණ්ඩ මෙන්ම ජාතික ශූරතාවලිය ඇතුඵ ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය සංවිධානය කළ පිහිනුම් තරගාවලිවල රැසක ශූරතා දිනා සිටින මැතිව් වාර්තා 20 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා තිබේ. 2013 වසරේ චීනයේ පැවැති ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ මීටර 100 නිදහස් ආර් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් මැතිව් 2012 වසරේදී ඉන්දුනීසියාවේ පැවැති ආසියානු වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේදී රිදී පදක්කම දිනා ගත්තේය.

”සමහර අවස්ථා තිබුණා මැතිව් ට ලංකාව අතහැරලා වෙනත් රටවලට ගොස් පුහුණුවීම්වල නිරතවෙන්න. ඒත් ඔහු සැමවිටම තෝර ගත්තේ ලංකාවේ පුහුණුකරුවන්වයි, මාවයි. අන්තර්ජාතික ජල ක‍්‍රීඩා සම්මේලනයේ පිහිනුම් කී‍්‍රඩක ක‍්‍රීඩිකා සංවර්ධන වැඩසටහනක් පසුගිය වසරේදී තායිලන්තයේ තිබුණා.

ඒ අවස්ථාව මැතිව්ට හිමි වුණත් ඔහු තීරණය කළා ලංකාවේ සිට පුහුණුවීම්වල නිරතවෙලා සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවෙන්න යැයි” අබේසිංහ මහතා වැඩි දුරටත් කීය.

ඇමරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සිවු වසරකට ආසන්න කාලයක් ඉගෙනීමේ කටයුතු වල නිරත වුවද මැතිව් දෙස් විදෙස්’හි පැවැත්වෙන පිහිනුම් තරගාවලි සඳහා සහභාගිවීමට ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

ඇන්ඩෘ අබේසිංහ, ඩිලන් අබේසිංහ සහ කයිල් අබේසිංහ යන මැතිව්ගේ සොහොයුරන් තිදෙනා ද පිහිනුම් ක‍්‍රීඩාවට දක්ෂයෝ වෙති.

කයිල් අබේසිංහ නිමා වු 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලට ද සහභාගිවෙමින් පදක්කම් දිනාගත් අතර ඇන්ඩෘ අබේසිංහ මීට පෙර පැවැති සාග් කී‍්‍රඩා උළෙල වලදී රන් පදක්කම් දිනාගත් පිහිනුම් ශූරයෙකි.

 


අදහස් (1)

මැතිව් ඔලිම්පික් පරිසාධන මට්ටම හඹා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.