Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner නායකත්වය බාරගත්තේ වෙන කෙනෙක් නොසිටි නිසයි

නායකත්වය බාරගත්තේ වෙන කෙනෙක් නොසිටි නිසයි

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

එක්දින හා විස්සයි/20 තරග සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරන නමුත් ටෙස්ට් පිටියෙන් සමුගත් තිලකරත්න ඩිල්ෂාන් සිය සමුගැනීමේ තීරණය ප‍්‍රකාශයට පත්කළ පසුගිය 10 වැනිදා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී දීර්ඝ පුවත් පත් සාකච්ඡාවකට සහභාගි විය. ”ආරම්භක පිතිකරුවකු වීම මගේ සාර්ථකත්වයයි” යනුවෙන් පළවූයේ එම දීර්ඝ පුවත් පත් සාකච්ඡාවේ පළමු වැනි කොටසයි.

එවන් පුවත් පත් සාකච්ඡාවකදී කෙරෙන සංවාදයන් කෙබඳු ආකාරයේ වේද යන්න ‘කෙළිමඬල’ පාඨකයන් වෙත සම්පූර්ණයෙන්ම ගෙන ඒමේ අරමුණින් පුවත් පත් සාකච්ඡාවේ දෙවැනි කොටස අසංෂිප්තව මෙසේ ඉදිරිපත් කරමු.

 

ප‍්‍රශ්නය :
ඔබ වසර 14 පුරා ඉතා දුෂ්කර ගමනක් ආවෙ බොහොම පරක්කු වෙලා මේ තැනට ආවෙ. ආපසු හැරිල බලද්දි විශේෂ පුද්ගලයො විශේෂ අවස්ථාවන් තියෙනවද මතක් කරන්න ?

ඩිල්ෂාන් :
මතක් කරන්න නම් ගොඩක් අය ඉන්නවා. නම් වශයෙන් මතක් කළොත් සෑහෙන වෙලාවක් යාවි. ඒත්  විශේෂ සිදුවීමක් මතක් කරනවා නම් පළමුවෙන්ම ටෙස්ට් කණ්ඩායමට ආරාධනා කරපු දවස මට අද වගෙ මතකයි. එදා මගේ ඇස් දෙකට කඳුළුත් ආවා.

මම එතකොට හිටියෙ දකුණු අප‍්‍රිකාවෙ. ටෙස්ට් වරම් ලබා ගන්නවා කියන්නෙ ඒ කාලෙ අමාරු දෙයක්. ඔක්කොම හොඳ අය. අර්ජුන අයියා, අරවින්ද අයියා, සනත් අයියා, රොෂාන් අයියා, මාවන් අයියා, රටේ ලොකු දෙයක් කරපු ක‍්‍රීඩකයො කණ්ඩායමේ ඉන්දැද්දි, මට ඒ අවස්ථාව ලැබිච්ච එක ගැන මම ගොඩාක් සතුටු වුණා.

 
ප‍්‍රශ්නය :
ලංකාවෙ ටෙස්ට් තරග අඩුයි ටෙස්ට් ක‍්‍රීඩකයො හරියට නැහැ හැමෝම කියනවා ටෙස්ට් තමයි කි‍්‍රකට් ක‍්‍රීඩාවෙ ජීව ගුණය කියල. ඒත් හැමෝම ටෙස්ට් ක‍්‍රීඩාවෙන් සමුගන්නවා, ඔබ නායකයෙක් ජ්‍යෙෂ්ඨයෙක් හැටියට කොහොමද මේක දකින්නෙ ?

ඩිල්ෂාන් :
ඇත්තටම ඒකට ලංකාවට විතරක් දොස් කියන්න බැහැ. බොහෝ විට ගොඩක් රටවල් ටෙස්ට් තරග සඳහා සහභාගීවෙනවා අඩුයි. ඉතා කාර්යය බහුල තරග පෙළගැස්මක් තියෙන්නෙ. වි:20 තරග වලට බොහෝ රටවල් කී‍්‍රඩා කරනවා ඒ තරග වලටත් ක‍්‍රීඩා කරන්න  ඕන.

ඉස්සර නම් තිබ්බෙ ඕවර 50 සහ ටෙස්ට් තරග විතරයි දැන් තරගාවලියකට වි:20 තරග දෙකක් ඇතුළත් කරනවා. ඔස්ටේ‍්‍රලියාව හා එංගලන්තය ඇරුණම බොහෝ රටවල්  දැන් ටෙස්ට් ක‍්‍රීඩා කරනවා අඩුයි. මං හිතන්නෙ අපිට  ලබන වසරෙ ටෙස්ට් තරග 10 කට වැඩිය තියෙනවා. ඉදිරියෙදි  ක‍්‍රිකට් පාලක මණ්ඩලය හොඳ සැලසුමක් යොදල වැඩිපුර ටෙස්ට් කී‍්‍රඩා කරයි කියල මම බලාපොරොත්තු වෙනවා.


ප‍්‍රශ්නය :
ඔබ ටෙස්ට් පිටියේදී සෑම ආකාරයෙන්ම කී‍්‍රඩා කරල තියනවා. කඩුලූ රැකීමත් එක්ක, තුන් ඉරියව් කී‍්‍රඩකයෙක් සහ නායකයෙක් හැටියටත් ඔබ කටයුතු කළා. ඔබට වඩාත්ම මතකයේ රැඳෙන සිදුවීම මොකක්ද ?

ඩිල්ෂාන්.
පළමු ටෙස්ට් තරගයට සහභාගී වෙච්ච දවස මට අද වගේ මතකයි. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ ඒක ක‍්‍රීකට් ජීවිතේ ක‍්‍රීඩකයෙක් ලබන ලොකු භාග්‍යයක්. අමතක නොවෙන සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ හැම මතකයක්ම සුන්දර මතකයක් ලෙස තියාගෙන මම සමුගන්නවා.

 

ප‍්‍රශ්නය :
ඔබ කඩුළු රකින්නෙක් හැටියටත් කටයුතු කළා. ඔබගේ අදහස අනුව පිතිහරඹයේ හැකියාවක් ඇති කඩුළු රකින්නෙක් වඩා සුදුසු ආරම්භක පිතිකරුවෙකු ලෙස කී‍්‍රඩා කිරීමද මැද පෙළ පිතිකරුවෙකු ලෙස කී‍්‍රඩා කිරීමද ?

ඩිල්ෂාන්
මා හිතනවා දවස් එකහමාරක් කඩුලූ රැකල ආරම්භක පිතිකරුවෙකු ලෙස කී‍්‍රඩා කිරීමද අපහසුයි කියල. ඒ නිසයි නිතරම මැද පෙළ පිතිකරුවෙකු ගැන හිතන්නෙ. ඒත් එහෙම කියන්නත් අමාරුයි.

ඒක කී‍්‍රඩකයා අනුව තමයි තීරණය වෙන්නෙ. කොහොම වුණත් කඩුලූ රකින්නෙක් මැද පෙළ පිතිකරුවෙකු ලෙස තරගයට අවතීර්ණ වීම වඩා සුදුසුයි.


ප‍්‍රශ්නය
බොහෝ කී‍්‍රඩකයෝ අපි දැක්කා කී‍්‍රඩාවෙන් සමුගත්තෙ බොහෝ වේදනාවෙන්. සමහර විට ඒ බව ඔවුන් කෙලින්ම ප‍්‍රකාශ කළා. ඔබ කියන ආකාරයට කිසිම වේදනාවක් නෑ. බලපෑමක් නෑ, තමන්ම හිතල නියම වෙලාවට ඉවත් වුණා කියල. ඔබ මෙතනින් තේරුම් කරන්නෙ ටෙස්ට් ක‍්‍රිකට් වලින් තොරව ඉදිරියෙදි එක්දින සහ වි 20  සහභාගී වෙනව. මුදල් තකා වි:20 පස්සෙ යන්න  ඕන නිසා මේ වගේ තීරණ ගන්නවා කියල කෙනෙක් චෝදනා කරන්නට පුළුවන් නේද?

ඩිල්ෂාන් :
මම ඒකට එක උදාහරණයක් දෙන්නම්. 2011 වසරෙදී මම නායකත්වය ගත්තට පස්සේ, ගිව්සුම් ගත තරග වලට වඩා වැඩිපුර අයී එල් තරග හතරකට වේලාසනින් මට එංගලන්තෙට යන්න වුණා. මම සල්ලි ගැන හිතුවනම් එදා මම ඒ වි:20 තරගෙටනෙ යන්නෙ.

නමුත් මම ඒ සල්ලි පැත්තකට දාල රට වෙනුවෙන් කී‍්‍රඩා කරන්නයි එංගලන්තෙට ගියේ. තව මට අවස්ථාවක් ලැබුණා ඔස්ටේ‍්‍රලියාවෙ බිග් බෑෂ් කණ්ඩායමට කී‍්‍රඩා කරන්න මම ඒකටත් සහභාගි වුණෙ නෑ, මට තව අවුරුද්දක් ටෙස්ට කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න  ඕන නිසා. එහෙම වුණා නම් මීට කලින් ටෙස්ට් වලින් අයින් වෙන්නෙ. අද වෙනකල් මම කිසිම කණ්ඩායමක් සමග වි:20 තරග වලට කිසිම ගිවිසුමක් අත්සන් කරල නෑ.


ප‍්‍රශ්නය :
ඔබ කාලයක් ටෙස්ට් ප‍්‍රහාරාත්මතක පිතිකරුවෙක් ලෙස නමක් දිනාගෙන හිටියා. ඔබ ටෙස්ට් තරගයක ආරම්භක පිතිකරුවකු ලෙස මුලින්ම නවසීලන්තයත් සමග ගාල්ලෙ  පැවැති තරගයේ  ශතකයක් ලබා ගත්තා. ඒ ශතකයකින් ආරම්භ කරපු ටෙස්ට් ගමන ගැන යමක් කිව්වොත්

ඩිල්ෂාන් :
ගාල්ලෙදි මට ආරාධනා ලැබුණා ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවෙක් ලෙස කී‍්‍රඩා කරන්න. එයට එකම හේතුව එක් කී‍්‍රඩකයෙක් හෝ ආක‍්‍රමණශීලී ලෙස තරගය ආරම්භයේදී කී‍්‍රඩා කරන්නට  ඕනෙ. නැත්නම් පන්දු යවන්නන්, අලූත් පන්දුව අතේ තියෙන නිසා අපව ටිකක් පාලනය කරන්න බලනවා.

පළමු පන්දුව දුර්වල එකක් වුණොත්, පළමු පන්දුව කියල බලන්නැතිව සුදුසු විදිහට ක‍්‍රීඩා කරන්න  ඕන. ආරම්භයේදී අපි පීඩනය පන්දු යවන්නන්ට දෙන්න  ඕන. ටෙස්ට් තරගයකදි වුණත් අපිට ජය ගන්නට උවමනානම්, අනෙක් කණ්ඩායමට පීඩනයක් දෙන්න  ඕනෙ. ඒකට අපි මුලින්ම ලකුණු ටිකක් ලබාගත යුතුයි.

මම ඒක ගොඩක් ඔප්පු කරල පෙන්නුවා. මම ආරම්භක පිතිකරුවකු වුණාට පස්සෙ, බොහෝ අවස්ථාවලදී කණ්ඩායම කඩාවැටීම වලක්වන්න, ලකුණු හඹායාමේදී වගේම ජයග‍්‍රහණය සඳහාත් ඒ ක‍්‍රියාමාර්ගය ඉවහල් වුණා. හැම රටකම කණ්ඩායමේ දැන් ඒවගේ ක‍්‍රීඩකයෙක් ඉන්නවා.


ප‍්‍රශ්නය :
‘ඩිල් ස්කූප්’ යනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවේ පහරක් නම් කිරිම ගැන මොකද හිතෙන්නෙ ?

ඩිල්ෂාන් :
ඇත්තටම ඒක ලොකු සතුටක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට ජාත්‍යන්තරයේ නම රැඳවීමට ලැබීම ආඩම්බරයක්. අපි නැතිවුණත් ඒ නම තියේවි. ඒක මට විතරක් නෙවෙය්, මුළු රටටත්, ශ්‍රී ලාංකිකයන් හැටියටත් ආඩම්බරයක්.


ප‍්‍රශ්නය :
ඔබේ මුල්ම පුහුණුකරුවා සුනිල් සළුවඩන මහතා. ඔබ අසීරු ගමනක් ආවේ. ටෙස්ට් කි‍්‍රකට් නායකත්වයත් දරල සමුගෙන යන මොහොතේ නවකයන්ට මොකද්ද කියන්න තියෙන්නෙ ?

ඩිල්ෂාන් :
මම ගොඩක් දේවල් කැප කැරල දුක් විඳල තමයි මෙතනට ආවෙ එනිසා කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරනවනම් දිගු ගමනක් යන්න පුළුවන්. කිසි දෙයක් ලේසියෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.

නවකයින්ට කියන්න තියෙන්නෙ, ලැබෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන අරගෙන තමන්ගෙ රට වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න කියලයි. එහෙම කළොත් වරදින්නෙ නෑ. සෑහෙන දිගු ගමනක් යන්න පුළුවන්.


ප‍්‍රශ්නය:
හැමෝම සමුගැනීමේ ටෙස්ට් තරගයක් ප‍්‍රකාශයට පත්කරලා තමයි සමුගත්තේ. ඒත් ඔබ හිටි අඩියේම මෙහෙම තීරණයක් ගත්තේ ඇයි ?

ඩිල්ෂාන්
මුලින්ම හිතන් හිටියේ සිම්බාබ්වේදී සමුගන්න. අවාසනාවකට වගේ 2015 වෙනකල් ලංකාවෙ ටෙස්ට් තරගයක් නැහැ එනිසයි මම සමුගන්න තීරණය කළේ.


ප‍්‍රශ්නය :
මහේල සහ සංගක්කාර ඔබට වඩා වයසින් වැඩි, ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ. ඔබ ඔවුන්ට මේ ඇඟවීමක්ද කරන්නෙ කණ්ඩායමෙන් ඉවත් වෙන්න කියා ?

ඩිල්ෂාන්
ඇත්තෙන්ම එහෙම දෙයක් නෙවෙයි, අපි තුන්දෙනාම කණ්ඩායමෙන් එකවර ඉවත් වුණොත් අති විශාල හිඩසක් ඇතිවෙනව. නවක කී‍්‍රඩකයෙක් ඔවුන් සමග කී‍්‍රඩා කළොත් කවද හරි ඒ දෙන්න ඉවත්වන දවසට අත්දැකීම් රාශියක් ඔහුට ඉතිරිවෙනව.

 
ප‍්‍රශ්නය :
ඔබත් සනත් ජයසූරියත් අතර සමීප සබඳතාවක් තියෙනවා. දෙන්නාම එකම කී‍්‍රඩා සමාජයටත් කී‍්‍රඩා කළා.  ඔහුත් සමග සාකච්ඡා කරලද මේ තීරණේ ගත්තෙ ?

ඩිල්ෂාන් :
ඇත්තෙන්ම සාකච්ඡා කරල තමයි මේ තීරණේ ගත්තෙ. සනත් අයියගෙ නායකත්වය යටතේ තමයි මම මුල්ම ටෙස්ට් තරගය කී‍්‍රඩා කළේ. ඔහු තේරීම් කමිටු සභාපති ලෙස සිටියදීම සමුගන්න ලැබීම භාග්‍යයක්. ඔහු වගේම මගේ බිරිඳ, දෙමව්පියෝ, හැමදෙනා එක්කම කතා කරල තමයි මේ තීරණේට ආවෙ.


ප‍්‍රශ්නය :
කි‍්‍රකට් කියන්නෙ ඔබේ වෘත්තිය. සෑම කෙනෙකුටම වෘත්තියමය ඉලක්කයක් තියෙනවා. ඔබටත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් එහෙම ඉලක්කයක් තිබුණද? ඔබ ඒ ඉලක්කය ජය ගත්තා කියල හිතනවද ?

ඩිල්ෂාන් :
මම ඉතා අපහසුවෙන් ඇවිත් ගොඩක් දේවල් ජය අරන් තියෙනවා. මම ටෙස්ට් තරග වලදි ලකුණු 5000 ඉලක්කය සම්පූර්ණ කළා. ටෙස්ට් නායකත්වය දැරුවා. කවදා හරි මේ තීරණය ගන්න  ඕනෙ.

මම ලබාගත්ත දේවල් එක්ක නවකයෙකුටත් ඒ අවස්ථාව දිය යුතුයි ඉදිරියට එන්න. එතකොට තමයි අපේ ක‍්‍රිකට් පවතින්නෙ.


ප‍්‍රශ්නය :
ඔබ නායකත්වය දරපු කාල සීමාව තුළ අපේක්‍ෂා කළ දායකත්වය කණ්ඩායමෙන් ඔබට ලැබුණද ?

ඩිල්ෂාන් :
කණ්ඩායමක් හැටියට කටයුතු කරද්දි ප‍්‍රශ්න ඇතිවෙනවා. නැත්තෙ නෑ. ඒත් කණ්ඩායමක් හැටියට සහයෝගය මට ලැබුණා. ඒ ලැබුණු සහයෝගයෙන් මම උපරිම දුර ගියා. මේ වෙලාව මම පසුගිය දේවල් ගැන කතාකරන්න  ඕනෙ නෑ. අනාගතය ගැනයි කතාකරන්න  ඕනෙ.

ඒ පොඩි කාලය තුළ මම නවකයො සෑහෙන්න ඉදිරියට අරගෙන ආව. ඒ ආව අය තමයි දැන් අනාගතය බාර ගන්න ඉන්නෙ. මට ගෙදර ඉඳන් ඒ නවකයො ජයග‍්‍රහණ කරනව බලල වඩා සතුටු වෙන්න පුළුවන්.


ප‍්‍රශ්නය :
ඔබ දක්‍ෂ කී‍්‍රඩකයෙක් වගේම කී‍්‍රඩා විලාසය නිසා ප්‍රෙක්‍ෂකයන් සතුටු කරපු කෙනෙක්. අත්දැකීම් රාශියක් ඇති. ආරාධනයක් ලැබිල තියෙනවද පොතක් ලියන්න එහෙම. නැත්නම් අදහසක් තියෙනවද ඒ ගැන. ?

ඩිල්ෂාන් :
පොතක් ලියල ඉවරයි ඇත්තටම තව මාස කීපයකින් මේ වගේම සහෝදර මාධ්‍ය කැඳවල පොත එළිදක්වන්න ඉන්නෙ.


ප‍්‍රශ්නය :
ඔබ කරන්නෙ නවකයන් සඳහා පරිත්‍යාගයක්. ඔබ විශ්වාස කරනවද ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් සුදුසු නවකයා තෝරා ගනී කියල. පහුගිය නවසීලන්ත සංචාරයේදී ලකුණු ලබාගත්ත කෞෂාල් සිල්වා මේ සංචාරයේදී ඇතුළත්  කරල නෑ.

ඩිල්ෂාන්
මං හිතන්නෙ ඔතන පොඩි පටලැවිල්ලක් වෙලා තියෙනවා. අපි  නවසීලන්ත සමග තරග කරන්නෙ එක්දින තරග විතරයි. එක්දින ආරම්භක පිතිකරුවො ඉන්නවා. කුසල් ජනිත්, උපුල් තරංග ඉන්නවා. මම ටෙස්ට් වලින් විතරයි ඉවත් වෙන්නෙ එක්දින තරග ක‍්‍රීඩා කරනවා.

තේරීම් කමිටුව කෞෂාල් සිල්වාව ටෙස්ට් කී‍්‍රඩකයෙක් ලෙස ගේන්න වෙන්නැති උත්සාහ කරන්නෙ. ඒ නිසා වෙන්නැති එක්දින කණ්ඩායමේ නැත්තෙ.


ප‍්‍රශ්නය : (ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාට)
ඩිල්ෂාන් ගත්ත තීරණයම අරන් මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙන්නාත් ටෙස්ට් පිටියෙන් සමුගත්තොත් ජ්‍යෙෂ්ඨයන් කී‍්‍රඩා කරන්නේ ටෙස්ට් තරග නොව එක්දින හා වි:20 තරග කියලා වෙනම ගිවිසුමක් ඇතිකරගන්නත් වෙයිද? මේ අභියෝගයට කොහොමද මුහුණ දෙන්නේ ?

ජයන්ත ධර්මදාස මහතා
මේ ප‍්‍රශ්නය ඩිල්ෂාන්ගෙන් ඇහුවානම් හොඳයි කියලයි මා හිතන්නේ. අද අපි තැන දෙන්න ඕනේ ඩිල්ෂාන්ටයි. ඒත් මේ ප‍්‍රශ්නයට උත්තරයක් දෙන්නම්.

කවුරුත් තීරණයක් ගත්තොත් අපට ඒක නවත්වන්න බෑ. ඩිල්ෂාන් මට ඊයේ තමයි මේ විත්තියක් කිව්වේ. මට කලින් කිව්වා නම් මම යන්න දෙන්නෙත් නෑ. ඇත්ත කතාව ඒකයි. කී‍්‍රඩකයන් හොඳින් කී‍්‍රඩා කරනවා නම් අපි ඒ කී‍්‍රඩකයන්ව තියාගන්න  ඕන.

ඒත් කී‍්‍රඩකයන්ගේ කිසියම් ශාරීරික දුර්වලතාවක් හෝ වෙනත් පවුලේ ප‍්‍රශ්නයක් නම් ඔවුන්ට තීරණයක් ගන්න ඉඩ දෙනවා. කාවවත් නවත්වන්නවත් කාවවත් බලෙන් තියාගන්නවත් අපට බෑ. ඒත් ඩිල්ෂාන් මට මේ බව කලින් කිව්වානම් මම යන්න දෙන්නෙත් නෑ.


ප‍්‍රශ්නය :
ඔබ  ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරුවෙ වසරක කාලයයි. අද වන තෙක් නායකත්වයේ සිටියානම් තවදුරටත් නායකත්වයෙ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවද ?

ඩිල්ෂාන් :
ඒ වසරක කාලය මට ඉතාම දුෂ්කර කාලයක්. නායකයෙක් වෙනවා කියන එක ලේසි නෑ. ගොඩක් පැති තියෙනව බලන්න.

කණ්ඩායම් නායකයා වෙන්න මගේ බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ. මහේල, සංගා දෙන්නම අයින් වෙච්ච වෙලේ නායකත්වය බාරගන්න කෙනෙක් හිටියෙ නෑ. ඒ වෙලාවෙ සභාපති තුමා මට කතාකරල කිව්ව නවකයෙක් හදාගන්නකල් ටික කාලයකට නායකත්වය භාරගන්න කියල. ඒ නායකත්වයෙනුත් මම ඉවත්වුණේ නවකයෙකුට ඒ අවස්ථාන දෙන්න  ඕන නිසා. තව අවුරුදු දෙක තුනක් මම හිටියනම් ඇන්ජලෝ මැතිව්ස්ට ඒ අවස්ථාව ලැබෙන්නෙත් නෑ. ඒ අත්දැකීම් ලැබෙන්නෙත් නෑ. ඒ තීරණේ ගත්තෙත් මම සුදුසු වෙලාවෙ එනිසා  හොඳ ටෙස්ට් නායකයෙක් ඉදිරියට හැදීගෙන යනවා.


ප‍්‍රශ්නය :
ඔබත් සනත් ජයසූරිය වගේම මැද පෙළ පිතිකරුවකුගේ සිට ආරම්භක පිතිකරුවෙක් දක්වා ආව. බොහෝ සමානකම් ඔබ දෙදෙනා අතරෙ තියෙනවා. අදහසක් තිබෙනවද දේශපාලනයට එන්න ?

ඩිල්ෂාන් :
ඉදිරි වසර දෙක තුළ, එක්දින පිටියේ මගේ කණ්ඩායම වෙනුවෙන්, මට විශාල කාර්යය භාරයක් ඉටු කරන්න තියෙනවා. එනිසා තවම එහෙම අදහසක් නෑ. ඊට කලින් දේශපාලනය ගැන ඉගෙන ගන්න  ඕනෙ.

 


අදහස් (5)

නායකත්වය බාරගත්තේ වෙන කෙනෙක් නොසිටි නිසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.