Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner තෙන්ඩුල්කාර් සමුගැනීමට තීරණය කරයි

තෙන්ඩුල්කාර් සමුගැනීමට තීරණය කරයි

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයට නොමැකෙන සටහන් රැසක් එක්කළ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සිය 200 වැනි ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

තෙන්ඩුල්කාර්, ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් වැඩිම ලකුණු ලාභියා මෙන්ම අන්තර්ජාතික ශතක 100 ක් සම්පූර්ණ කරමින් එවැනි දස්කමක් දැක්වූ පළමු ක‍්‍රීඩකයා බවට ද පත්විය. එයට ටෙස්ට් ශතක 51 ක් සහ එක්දින ශතක 49 ක් ඇතුළත් වේ. 

තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 198 කදී ලකුණු 15,837 ක් රැස්කර තිබෙන අතර ලබන නොවැම්බර් මස ඉන්දියාවේදී, කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේදී තරග 200 සම්පූර්ණ කිරීමට සූදානමින් සිටියි. ඒ අනුව තෙන්ඩුල්කාර් ටෙස්ට් තරග 200 ක් ක‍්‍රීඩා කළ පළමු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා බවට ද පත්වේ.

‘‘මගේ රට නියෝජනය කරමින් ලෝකය පුරාම ක‍්‍රීඩා කරන්න ලැබීම විශාල ගෞරවයක්, මා 200 වැනි ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ’’ යැයි තෙන්ඩුල්කාර් සමුගැනීම නිල වශයෙන් දැනුම් දෙමින් පැවසීය.

‘‘මගේ ජීවිතයේ සිහිනයක් තිබුණා ඉන්දියාව වෙනුවෙන් ක‍්‍රීඩා කරන්න, පසුගිය වසර 24, සෑම දිනකම මා ඒ සිහිනයත් සමග ජීවත් වුණා’’ යැයි තෙන්ඩුල්කාර් වැඩි දුරටත් පැවසීය.

ක‍්‍රිකට් විස්තර විචාරකයන් ‘ලිට්ල් මාස්ටර්’ යනුවෙන් ආමන්ත‍්‍රණය කරන 40 වැනි වියේ පසුවන තෙන්ඩුල්කාර් එක්දින ලෝක කුසලාන තරගාවලි හයකට සහභාගි වී ඇති අතර 2011 වසරේ අවසන් තරගාවලියේදී ඉන්දියාව ශූරයන් බවට පත්විය.

තෙන්ඩුල්කාර්ගේ දස්කම් ඇගයීම වෙනුවෙන් ඔහුට ඉන්දීය පාර්ලිමේන්තුවේ ගෞරවනීය මන්ත‍්‍රී පදවියක් ද පරිනමා තිබේ.

වයස 16 පසු වෙද්දී 1989 වසරේ පාකිස්තානයට එරෙහිව කරච්චිහිදී ටෙස්ට් වරම් ලැබූ තෙන්ඩුල්කාර් වයස 14 දී විනෝද් කම්බ්ලි සමග එක්ව පාසල් තරගයකදී ලකුණු 664 ක සම්බන්ධතාවක් පවත්වමින් ලෝක වාර්තාවක් පිහිටුවමින් ලෝක අවධානය දිනා ගැනීමට සමත් විය.

හිටපු ඉන්දීය නායකයකු වන සුනිල් ගවස්කාර් මහතා පවසන්නේ තෙන්ඩුල්කාර් ලෝකයේ විශිෂ්ටයකු වන බව මීට වසර 20 කට පමණ පෙර පළමු වරට තෙන්ඩුල්කාර් පුහුණුවීම්වල පන්දුවට පහරදෙන ආකාරය දුටු අවස්ථාවේදී තමන්ට සිතුණු බවයි.     

ඕස්ටේ‍්‍රලියානු හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක‍්‍රීඩක ෂේන් වෝන් මහතා පවසන්නේ තෙන්ඩුල්කාර්ගේ දස්කම්වලට ළගා වීමට කිසිවකුට හැකියාවක් නොමැති බවයි.   
මෙම දකුණත් සුපිරි පිතිකරුවා එක්දින අන්තර්ජාතික තරග 463 කදී ශතක 49 ක් සහ අර්ධ ශතක 96 ක් සමගින් ලකුණු 18,426 ක් රැස්කර තිබේ.   

 


අදහස් (6)

තෙන්ඩුල්කාර් සමුගැනීමට තීරණය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.