Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ෆෙඩරර්ගේ සිහිනය සුනුවිසුණු වෙයි

ෆෙඩරර්ගේ සිහිනය සුනුවිසුණු වෙයි

Nisanka Sandeepani - 2017 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙනිස් පිටියේ දැවැන්තයන් වන රොජර් ෆෙඩරර් සහ රෆායල් නඩාල් අතර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ඓතිහාසික අවසන් පූර්ව වටයේ ද්වන්ධ සටන පිළිබඳ විචාරකයන් තැබූ බලාපොරොත්තු එහෙම පිටින්ම සුණු විසුණු කළ ආජන්ටිනාවේ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝ අර්ධ අවසන් පූර්ව තරගයෙන් රොජර් ෆෙඩරර් පරාජයට කර වික්‍රමාන්විත ජයග්‍රහණයකට හිමිකම් කීමට සමත්විය.

ඉතා පහසුවෙන් අවසන් සිවුදෙනා අතරට රිංගා ගැනීමට කුරුමානම් ඇල්ලූ ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග බිමේ අසහාය වීරයා වන ෆෙඩරර් අන්දමන්ද කළ ඩෙල් පොට්රෝ අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 24 වැනි තැන පසුවන ක්‍රීඩකයෙකි. ඔහු තරගය ජයගත්තේ 7-5ක්, 3-6ක්, 7-6ක් සහ 6-4ක් වශයෙනි. 

අමෙරිකානු විවෘත තරගාවලියේදී නඩාල් සමග තරග වැදීමට නොතිත් ආසාවෙන් පසුවූ ෆෙඩරර්ට බලාපොරොත්තු කඩකරගනිමින් ආපසු ගෙදර යාමට සිදුවීය.  නඩාල් අවසන් පූර්ව වටයේදී පොට්රෝ සමග තරග වැදීමට නියමිතය. 

රෆායල් නඩාල් අවසන් සිවුදෙනා අතරට සේන්දු වූයේ 19 හැවිරිදි කෝඩුකාරයකු වන රුසියාවේ ඇන්ඩි්‍ර රුබ්ලිව් පහසුවෙන් පරාජය කරමිනි. දැනට ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන නඩාල්ට ෆෙඩරර්ගේ පරාජයත් සමග තව දුරටත් සිය ස්ථානය රැක ගැනීමේ වාසනාව අත්වී තිබේ.

ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන සිටි බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ, සිවුවැනි තැන සිටි ස්විට්සර්ලන්තයේ ස්ටැන් වර්වින්කා, පස්වැනි තැන පසුවූ සර්බියාවේ නොවැක් ජොකෝවික් මෙවර තරගාවලියට සහභාගි නොවූහ. 

“මං හිතන්නේ මේක තමයි මේ තරගාවලියේ මං සෙල්ලම් කරපු හොඳම තරගය.” ෆෙඩරර් අන්දමන්ද කළ ජයග්‍රහණයෙන් පසුව ආතර් ඈෂ් ටෙනිස් පිටියේදී 36 හැවිරිදි ඩෙල් පොට්රෝ එසේ කීවේය.

“මං හැම අතින්ම හොඳට ක්‍රීඩා කළා. මගේ පන්දු පිරිනැමීම ඉතා හොඳින් සිදුවුණා. ප්‍රතිප්‍රහාරය මට හැකි උපරිම වේගයෙන් එල්ල කරන්න මට හැකිවුණා. අනික මේක මගේ ගෙදර වගේ තැනක්. මං මෙහේ සෙල්ලම් කරන හැම වතාවේදීම ක්‍රීඩාලෝලීන් මගේ පැත්තයි ගන්නේ. මං හිතන්නේ රෆා (රෆායල් නඩාල්) එක්ක තරගයේදීත් ක්‍රීඩාලෝලින් මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔල්වරසන් දේවි කියලයි.” ඩෙල් පොට්රෝ එසේ කියන්නේ සිය ජයග්‍රහණයේ සතුට සිහිකරමින් පමණක් නොව අවසන් පූර්ව තරගයට ඔහු සමග ක්‍රීඩා කිරීමට නියමිත නඩාල්ටත් කල්තියාම අනතුරු ඇඟවීමක් කරමිනි. 

“මම පැරදුණේ ඕනවට වඩා ඉස්සරහා ගැන හිතන්න ගිහිනුයි” සිය ගමන් මල්ල පොදි බඳින ගමන් ෆෙඩරර් එසේ කීවේය. 

“එක අතකින් බැලුවම අර්ධ අවසන් පූර්ව වටයට ආපු එකත් සතුටක්. මට කිසිම කනගාටුවක් නෑ. මේක මං මේ අවුරුද්දේ පරාජය වුණු මුල්ම ග්‍රෑන්ඞ් ස්ලෑම් මැච් එකයි. මම පැරදුණේ මට වඩා හොඳින් අද සෙල්ලම් කරපු හාදයකුටයි.” 

පස්වතාවක් අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ඇති එහෙත් 2008 වසරෙන් පසුව ඊට හිමිකම් නොකී ෆෙඩරර් එසේ කීවේය. 2009දි අමෙරිකානු ටෙනිස් කිරුළ ජයගැනීමේ එළිපත්තටම පැමිණි ෆෙඩරර් පරදවා ශූරතාව දිනාගනු ලැබුවේත් පොට්රෝමය.

-077


 

 


අදහස් (0)

ෆෙඩරර්ගේ සිහිනය සුනුවිසුණු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.