Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සෙරීනා විම්බල්ඩන්හිදීත් අවධානය ඇදගනී

සෙරීනා විම්බල්ඩන්හිදීත් අවධානය ඇදගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේ ගාබින් මුගුරූසා විම්බල්ඩන් තරගාවලියේ වත්මන් ශූරිය බව සැබෑය. එහෙත් අද (ජූලි 2) ලන්ඩනයේදී ආරම්භ වන 132 වැනි විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේදී කාගෙත් නෙත් සිත් යොමුවී ඇත්තේ සෙරීනා විලියම්ස් කෙරෙහිය.

ඇය අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු ක්‍රීඩිකාවන් 150 දෙනා අතර නොසිටියත් විම්බල්ඩන් තරගාවලිය සංවිධාන කරන සමස්ත එංගලන්ත ටෙනිස් ක්‍රීඩාසමාජ ප්‍රධානින් ඇගේ ඉතිහාස දස්කම් ගැන අවධානය යොමු කරමින් මෙවර තරගාවලියට එක්වීමට අවස්ථාව දුන්නේය. දැනට අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල 183 වැනි තැන සිටියත් ඇයට මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් අතර 25 වැනි තැන පිරිනමමින් විම්බල්ඩන් තරගාවලියට ඇතුළත් කරගැනිමට සංවිධායක මණ්ඩලය පියවර ගත්තේය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන පිපාසයෙන් පෙලෙන 36 හැවිරිදි මේ අමෙරිකානු ක්‍රීඩිකාව විම්බල්ඩන් ටෙනිස් පිටියට පා තබන්නේ වසර 2016 න් පසුවය. සිය කුළුඳුල් දරු ප්‍රසූතිය නිසා පසුගිය වසරේ විම්බල්ඩන් පිටියට නොපැමිණි සෙරීනා ඊට පෙර 2015 සහ 2016 දෙවසරේදීම ශූරිය බවට පත්වූවේ මාටිනා නව්රතිලෝවාගෙන් පසුව වැඩිම විම්බල්ඩන් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩිකාව ලෙසිනි.

ඇය විසින් මෙතෙක් විම්බල්ඩන් කුසලාන 7 ක් දිනා ඇති අතර නව්රතිලෝවා අත්කරගත් විම්බල්ඩන් කුසලාන සංඛ්‍යාව 9 කි.

කවදත් විම්බල්ඩන් ටෙනිස් පිටියේ වැඩිම වාසිය ඇති වාසනාවන්තිය බවට කවුරුත් කියන සෙරීනා මේ හඹා යාමට සූදානම් වන්නේ ඇගේ 24 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කිරුළයි. ඕස්ටේ්‍රලියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකා මාග්‍රට් කෝට් වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කුසලාන සංඛ්‍යාවක් දිනූ ක්‍රීඩිකාව ලෙස පෙරමුණේ පසුවන්නීය.

එහෙත් ඇය ඒ සියලු කුසලාන දිනාගනු ලැබුවේ ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලි විවෘත තරගාවලි බවට පත් කිරීමට පෙරය. ඒ අනුව විවෘත තරගාවලි බවට ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් තරගාවලි පත්වීමෙන් පසුව වැඩිම කුසලාන සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩිකාව සෙරීනාය. කෙසේවුවත් දැන් ඇගේ අදිටන මාග්‍රට් කෝට්ගේ වාර්තාවත් සමකිරීමය.

මෙවර තරගාවලියේදී ඒ වාර්තාව තැබීමට සෙරීනා සමත්වුවහොත් එය තවත් වාර්තාවක් බිහි වීමේ ඉඩකඩ ඇති කරලන්නකි. එසේ වන්නේ මීට වසර 38 කට පෙර මවක ලෙස එවෝන් කව්ලි විම්බල්ඩන් ශූරිය වීමෙන් පසුව එවැනි දස්කමක් පෑ පළමු ක්‍රීඩිකාව වීමට සෙරීනාට අවස්ථාව ලැබෙන නිසාය.

ජූලි මස 15 වැනිදා දක්වා පැවත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ මෙවර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට බෙදා දීමට නියමිත ත්‍යාග මුදල පවුම් මිලියන තුනහමාරකි. එය පසුගිය වසරේ ත්‍යාග මුදලට වඩා  7.6 % ක වැඩිවීමකි.

වසර 1877 දී ආරම්භ වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය වාර්ෂික ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා අතර ඇති තණකොළ සහිත පිටියක පැවැත්වෙන එකම තරගාවලියයි. සෑම වසරකම ජූනි අවසානයේ හෝ ජූලි මුල් දිනයක ආරම්භ වී දින 14 කින් පසුව නිමාවට පත්වෙන මේ තරගාවලියේ අනිත් විශේෂත්වය වන්නේ සඳුදා දිනයක ආරම්භ වී එය ඉරිදා දිනෙක නිමාවට පත්වීමය.

විම්බල්ඩන් මංගල තරගාවලිය පැවැත්වූ 1877 වසරේ ඊට ඇතුලත්ව තිබුණේ පිරිමි කේවල තරගාවලියක් පමණි. ඊට කාන්තා කේවල ඉසව්ව හා පිරිමි යුගළ තරග ඉසව්ව ඇතුලත් වූයේ 1884 වසරේ සිටය. අනතුරුව 1913 වසරේ දී කාන්තා යුගළ තරග හා මිශ්‍ර යුගළ තරග ඊට එක්විය.

විම්බල්ඩන් තරගාවලියේ මුල් කාලයේ දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් වන්නේ 1922 වනතුරු ඊට පෙර වසරේ කේවල ශූරතා දිනූ ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට අවසන් මහා තරගය දක්වා උසස්වීමක් ලබාදී තිබීමය. ඒ අනුව පෙර වසරේ ශූරයා සහ ශූරිය ඊළඟ වසරේ දී එක්වන්නේ අවසන් මහා තරගයට පමණි. එමෙන්ම මේ තරගාවලිය එකල සීමාවී තිබුණේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණි.
 
එහෙත් 60 දශකය අගභාගය වෙද්දී විම්බල්ඩන් තරගාවලියේ මුහුණුවර සැළකිය යුතු ආකාරයෙන් වෙනසකට භාජනය විය. 1968 වසරේදී එය විවෘත තරගාවලියක් බවට පත්වූ අතර ශූරතාවට හිමිකම් කියන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා ඊළඟ තරගාවලියේ දී මූලික වටයේ සිට තරග කළ යුතු විය. එමෙන්ම එතෙක් ජයග්‍රාහකයන්ට කුසලාන පමණක් පිරිනැමුණු තරගාවලියට මුදල් ත්‍යාග ඈඳුණේ ද 1968 වසරේදීය.


සැකසුම : මොහාන් ප්‍රනාන්දු

 


අදහස් (0)

සෙරීනා විම්බල්ඩන්හිදීත් අවධානය ඇදගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.