Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්ලෝනි ස්ටීවන්ස් ඉතිහාසය යළි පෙන්වයි

ස්ලෝනි ස්ටීවන්ස් ඉතිහාසය යළි පෙන්වයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලිය විවෘත තරගාවලියක් බවට පත් කිරීමෙන් පසුව ශ්‍රේණිගත කිරීම්වල නොසිටි ක්‍රීඩිකාවක් එවැනි ශූරතාවක් දිනූ පස්වැනි වතාව සටහන් කරමින් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාව දිනාගැනීමට ස්ලෝනි ස්ටීවන්ස් සමත්වූවාය.

නිව්යෝක් නුවර බිලි ජීන් කිංග් ටෙනිස් මධ්‍යස්ථානයේ ෆ්ලෂින් මිඩෝස් ටෙනිස් පිටියේ පැවැති අවසන් මහා තරගයෙන් ස්ලෝනි ලකුණු 6-3 කින් සහ 6-0 කින් ජයලැබුවේ ඇගේම රටෙහි මැඩිසන් කීස් පරාජය කරමිනි.

එය දෙදෙනාගේම පළමු ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් තරගය වූවත් දෙදෙනාම කුඩා වියේ සිටම සමීපතම මිතුරියන් වීම නිසා ස්ලෝනිට සහ මැඩිසන්ට අවසන් මහා තරගයකදී දැනෙන චකිතය නොදැනුණු බව තරගයෙන් පසුව ස්ලෝනි කීවාය.

ග්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහ තරගයක් නිමාවීමෙන් පසුව එකිනෙකාට සුබපතීමෙන් පසුව ත්‍යාග ප්‍රදානෝත්සවය වනතුරු පිටිය දෙපස තම තමන්ගේ ආසනවල වාඩිවී සිටීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාමාන්‍ය සිරිත වුවත් මෙහිදී දක්නට ලැබුණේ අසාමාන්‍ය සිදුවීමකි.

ටෙනිස් පිටිය මැද දැල අසළ දී ස්ලෝනි‘ හා මැඩිසන් දිගු වේලාවක් තිස්සේ එකිනෙකා සිප වැළඳගෙන සිටී අතර ඉන් අනතුරුව දෙදෙනාම ගොස් එකම පැත්තක අසුන් ගත්හ.  එය ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් දෙදෙනකු අතර දක්නට නොලැබෙන විරල සිදුවීමක් ලෙස විචාරකයෝ සඳහන් කළහ.

“මං එයාට කිව්වා මේ තරගය ජයපැරදුමෙන් තොරව නිමාවුණානම් කොයිතරම් හොඳද කියලා. එතකොට අපි දෙන්නටම මේ කුසලානයට සමඅයිතිවාසිකම් කියන්න පුළුවන් නේද කියලා.” ස්ලෝනි එසේ කීවාය.

“කවදාවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළක් දිනා නැති මාත් අවසන් තරගයට ආවේ බලාපොරොත්තු සහගතවයි. ඒත් අද ස්ලෝනි මට වඩා හොඳට සෙල්ලම් කළා. අද මම වෙන කෙනකුට පැරදුනා නම් දැනෙන වේදනාව කොයිතරම්ද කියලා හිතාගන්න බෑ. ඒත් මගේ හොඳම යාළුවෙක්ටයි පැරදුණේ. ඒ නිසා ලොකු කනගාටුවක් නෑ.” මැඩිසන් කීස් කීවාය.

වසර 2002 දී ජෙනිෆර් කැප්‍රියාටි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ ජයගැනීමෙන් පසුව විලියම්ස් සොයුරියන් හැර කිසිදු අමෙරිකානු ජාතික ක්‍රීඩිකාවකට එවැනි කිරුළක් දිනාගත නොහැකි වූ අතර 2002 න් පසුව එවැනි හපන්කමක් කළ පළමු අමෙරිකානු ජාතික ක්‍රීඩිකාව බවටත් ස්ලෝනි පත්වුවාය.

තරගයෙන් පසුව ඩොලර් මිලියන 3.7 ක මුදල් මල්ලක් සමග කුසලානය ලබාගැනීමෙන් පසුව  “දැන් ඉතිං ක්‍රීඩාවෙන් සමුගන්න හිතෙනවා” යැයි ඇසක් ඉඟි කරමින් ස්ලෝනි කීවේ විහිළුවටය. ජයග්‍රාහි කතාවේදී වරින් වර සිය මව සිහිපත් කරමින් සතුටු කඳුළු වැගිරූ ඇය කියා සිටියේ  තමා 11 හැවිරිදි වියේ පසුවෙද්දී මව විසින් තමා ටෙනිස් පුහුණුවට කැටුව ගිය හැටි ගැනය.

 


 

- 077

 


අදහස් (0)

ස්ලෝනි ස්ටීවන්ස් ඉතිහාසය යළි පෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.