Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සමීප මිතුරියෝ ඩොලර් ලක්‍ෂ 37 කට පොර

සමීප මිතුරියෝ ඩොලර් ලක්‍ෂ 37 කට පොර

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිසිම දිනෙක ග්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක වැඩි දුරක් නොගිය සමීපතම මිතුරියන් දෙදෙනකු වන 22 හැවිරිදි මැඩිසන් කීස් සහ 24 හැවිරිදි ස්ලෝනි ස්ටීවන්ස් අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ඩොලර් මිලියන 3.7 ක මුදල් මල්ලක් වෙනුවෙන් තරග වැදීමට සූදානමින් සිටිති.

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (10 වැනිදා) පාන්දර 1.30 ට නිව්යෝක් නුවර බිලි ජීන් කිංග් ටෙනිස් මධ්‍යස්ථානයේ ආතර් ඈෂ් ටෙනිස් පිටියේදී මෙම ක්‍රීඩිකාවෝ දෙදෙනා ක්‍රීඩා කරති.

දකුණු ෆ්ලොරිඩාවේ අසල්වාසීන් ලෙසින් 13 හැවිරිදි වියේ සිටම ඉතා කුලුපග මිතුරුදමක් ඇති මේ දෙදෙනාම ආබාධවලට ගොදුරුවී සිට නැවත පිටියට සේන්දු වුයේ මීට මාස තුනකට පෙරය.

ශ්‍රේණිගත කිරීම්වල අහළකවත් නොමැති ස්ලෝනි පසුගිය ජූලි මාසයේදී නැවත පිටියට අවතීර්ණ වූයේ මාස 11 ක්ම වම් පාදයේ ආබාධයකට ලක්වී සිටීමෙන් පසුවය. මෙවර අවසන් පූර්ව තරගයේදී ඇය අතින් පරාජයට පත්වූයේ එසේ මෙසේ ක්‍රීඩිකාවක නොව අවුරුදු 20 ක්ම ටෙනිස් පිටියේ ආධිපත්‍ය පතුරුවාලමින් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 7ක් දිනාගත් වීනස් විලියම්ස්ය.

සිය වම් අතේ මැණික් කටුවේ සැත්කමකට භාජනය වී මාස 10 ක්ම විවේකගත් ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි තැන සිටින මැඩිසන් කීස් අවසන් තරගයට එක්වූයේ කොකෝ වැන්ඩර්වෙග් පරාජය කරමිනි.

“අවසන් තරගයට එක්වීම ගැන මට ඇති සතුට නිම්හිම් නෑ. අනික මෙහේ. මගේම රටේ. මේ වගේ අවස්ථාවක් කියන්නේ ඕනෑම කෙනකුට හීනයක් හැබෑවීමක්”‘ අවසන් තරගයට පුහුණුවෙමින් සිටින අතරතුර ස්ලෝනී එසේ කීවාය.

මේ අතර මැඩිසන් කියන්නේ කුඩා වියේ සිටම සමීප මිතුරියක ලෙස ඇසුරු කරන ස්ලෝනිට එරෙහිව තරග වැදීම තරමක් අසීරු බවකි.

“එයා මගේ කුඩා කාලේ සිටම මිතුරියක්. මම එයාට ගොඩාක් ආදරෙයි. ඒ වගේ මිතුරියක් එක්ක අවසන් තරගයකදී ක්‍රීඩා කිරීමට සිදුවීම ලෙහෙසි දෙයක් නෙවෙයි.”

මැඩිසන්ගේ සහ ස්ලෝනිගේ හෙට පැවත්වෙන අවසන් මහා තරගය තවත් අතකින් වාර්තාපොතේ කඩඉමක් ලෙස සටහන් වනු ඇත්තේ අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලි ඉතිහාසයේ වසර 15කට පසුව අප්‍රිකානු - අමෙරිකානු සම්භවයක් සහිත ක්‍රීඩිකාවන් දෙදෙනකු අවසන් මහා තරගයට පිවිසීම නිසාය. අවසන් වතාවට 2002දී මේ වාර්තාවට හිමිකම් කීවේ සෙරීනා සහ වීනස් සොයුරියන් දෙදෙනාය.

කලු ජාතික ක්‍රීඩිකාවන් දෙදෙනකු මෙවර අවසන් මහා තරගයට පිවිසෙනුයේ අමෙරිකානු ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළක් පළමුවතාවට කළු ජාතික ක්‍රීඩිකාවක් දිනාගැනීමෙන් වසර 60ක් සම්පූර්ණ වූ මොහොතකය. එම ඓතිහාසික වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ 1957 දී අමෙරිකානු ටෙනිස් කිරුළ දිනාගත් ඇල්තියා ගිබ්සන් විසිනි. මීට වසර 13 කට පෙර මෙලොවින් සමුගත් මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාව එවර ටෙනිස් කිරුළ දිනුවා පමණක් නොව වර්ණභේදවාදයට කදිම අතුල් පහරක්ද දුන්නාය.

“අපි එයාගේ අඩිපාරේ (ඇල්තියාගේ) තමයි යන්නේ. ඇය අමෙරිකානු - අප්‍රිකානු කාන්තාවක් හැටියට මෙහේ ක්‍රීඩා කළා. ඒ වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවක් අනුගමනය කරන්න ලැබීමත් ගෞරවයක්” හෙට තරගයට ක්‍රීඩා කරන මැඩිසන් මෙන්ම ස්ලෝනිත් එසේ කියති.


- 077

 


අදහස් (0)

සමීප මිතුරියෝ ඩොලර් ලක්‍ෂ 37 කට පොර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.