Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 වෝනර්ට නත්තල් තෑග්ගක්

වෝනර්ට නත්තල් තෑග්ගක්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නත්තල් තෑග්ගක් ලෙසින් ලැබුණු නිපන්දුවක් නිසා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී තවත් ටෙස්ට් ශතකයක් ලබාගත් ඬේවිඞ් වෝනර් අළු බඳුන තරගාවලියේ සිව්වැනි තරගයේදීත් ඕස්ට්‍රේලියානු පිල පෙරමුණට ගෙන ගියේය. තරගයේ පළමු දිනය වන අද (26 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු පිල කඩුලු 3 ක් දැවී ලකුණු 244 ක් ලබා සිටියේය. 

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් හිස්වැස්ම දිනාගත් ටොම් කරන්ගේ පන්දුවක් හමුවේ ගැසූ පුල් පහරක් වැරදී යාමෙන් ඬේවිඞ් වෝනර්ගෙන් ඉතාමත් පහසු උඩපන්දුවක් මිඞ් ඕන් හි සිටි පන්දු රකින්නාට ලැබිණ. ඒ වන විට ලකුණු 99 ක් ලබා සිටි වෝනර් තමන් කෙරෙහිම ඇතිවූ නොපහන් සිතින් ආපසු ක්‍රීඩාගාරය බලා යද්දී විනිසුරුවරුන් විසින් ඔහු ආපසු කැඳවන ලද්දේ ටොම් කරන්ගේ පන්දුව නිපන්දුවක් වූ බැවිනි. 

අද පෙරවරුවේදී එංගලන්ත පිලේ හිටපු නායක බොබ් විලිස් අතින් ටෙස්ට් හිස්වැස්ම පැළඳගත් ටොම් කරන් සිය මංගල ටෙස්ට් කඩුල්ල දවාගැනීම නිසා මහත් උද්දාමයෙන් සිටියද තත්ත්පර කිහිපයක් ඇවෑමෙන් මහත් කණස්සල්ලෙන් යුතුව හිස දෙපසට වනමින් සිටියේය.

වෝනර් ගැසුවේ පුල් පහරකටත් නැති තඩිබෑමකටත් නැති මහත් අළස පහරකි. පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව ඉහළ ගොස් මිඞ් ඕන්හි සිටි ස්ටුවර්ට් බ්‍රෝඞ්ගෙ දෑත් අතර සැඟවී ගියේය. 

වෝනර් දැවී යන විට ඕස්ට්‍රේලියානු පිලේ ලකුණු සංඛ්‍යාව වූයේ 135 කි. එයින් ලකුණු 103 ක් වෝනර් සතුවිය. වෝනර් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 සීමාව පසුකළ වේගවත්ම පිතිකරුවන් අතර සිවුවැන්නාද විය. ඬේවිඞ් වෝනර් සහ ග්‍රෙග් චැපල් (ඉනිම 129), මැතිව් හේඞ්න් (ඉනිම 126) සහ රිකී පොන්ටිං (ඉනිම 125) වඩාත් ඉක්මනින් ටෙස්ට් ලකුණු 6000 කඩයිම පසුකර  ඇතත් ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් ටෙස්ට් ලකුණු 6000 පසුකළේ ටෙස්ට් ඉනිම 68 කිනි. 

“ආපසු කැඳවීමක් ලැබුණ එක නම් නියමයි....ඒත් ඒ පන්දු දෙක (දැවීයාම සහ ශතකය ලබාගැනීම) අතර තිබුණ හැඟීම් නම් විස්තර කරන්න අමාරුයි. ඒක නම් සහතිකයි” යයි තරගයෙන් පසුව වෝනර් කීවේය. 

නැවතත් පිටියට පැමිණි විගසම ඊළඟ පන්දුවේදී සිය ශතකය ලබාගත් වෝනර්ට සිය ඉනිම දිගුකළ නොහැකි වූවත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්ටීවන් ස්මිත් (නොදැවී 65) සහ ෂෝන් මාෂ් (නොදැවී 31) දිගින් දිගටම එංගලන්ත පන්දු යවන්නන්ට රිදවමින් සිටියහ. 

ස්ටීවන් ස්මිත්ගේ මෙවර ගිම්හානයත් ඉතාමත් සාර්ථක එකක් වන බව පෙනෙන්නට තිබේ. එංගලන්තයට එරෙහිව මෙතෙක් මුහුණ දුන් ඉනිම 5 දී ලකුණු 491 ක් ලබා සිටින ස්මිත් මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පිට පිටම ලබාගත හැකි සිව්වැනි ටෙස්ට් ශතකය හඹා යමින් සිටී.

ලෝකයේ පළමුවැනි ටෙස්ට් ක්‍රීඩාංගණය ලෙසින් සැලකෙන මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ස්ටීවන් ස්මිත්ගේ අවසන් ඉනිම තුන සටහන් වන්නේ 2014 දී ඉන්දියාවට එරෙහිව 192 යි, 2015 දී කොදෙව් පිලට එරෙහිව නොදැවී 134 යි, 2016 දී පාකිස්තානයට එරෙහිව නොදැවී 156 යි වශයෙනි. 

ඕස්ට්‍රේලියානුවන් විසින් මේ වන විටත් අළු බඳුන හිමිකරගනු ලැබ සිටින නමුත් අද තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීහු 88,172 ක් මෙල්බර්න් ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ. 

 

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 3 ක් දැවී 244

(කැමරන් බැන්ක්‍රොෆ්ට් 26, ඬේවිඞ් වෝනර් 103, උස්මන් කවාජා 17, ස්ටීවන් ස්මිත් නොදැවී 65, ෂෝන් මාෂ් නොදැවී 31, ජේම්ස් ඇන්ඩසන් 43/1, ස්ටුවර්ට් බ්‍රෝඞ් 41/1, ක්‍රිස් වෝක්ස් 60/1)

 


අදහස් (0)

වෝනර්ට නත්තල් තෑග්ගක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.