Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ප්‍රංශයේ ජයග්‍රහණ ඉඩෝරය නිමයි

ප්‍රංශයේ ජයග්‍රහණ ඉඩෝරය නිමයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලකුණු 34-17කින් ඉතාලිය පරාජය කරමින් තරග අටක් තිස්සේ මුහුණදෙමින් සිටි ජයග්‍රහණ ඉඩෝරය නිමා කරගැනීමට ප්‍රංශය සමත්විය. එපමණක් නොව මේ ජයග්‍රහණය මේ වසරේ සය කොන් රග්බි ශූරතාවලියේ ප්‍රංශය ලැබූ මුල්ම ජයග්‍රහණය ද වේ.

පසුගිය වසරේ මාර්තුවේදී අන්තිම වතාවට වේල්සය පරාජය කිරීමෙන් පසුව මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් අත්කර නොගත් ප්‍රංශයේ ලෙස් බ්ලූස්ලා ප්‍රංශයේ මාසිලි නුවර ඔරෙන්ජ් වෙලෝඞ්රොම් ක්‍රීඩාංගණයේදී ඊයේ (23 වැනිදා) සිය ජයග්‍රහණ ඉඩෝරයට තිත තැබුවේ පෝල් ගේබ්‍රිලාගෙස්, හියුගෝ බොනිවල් සහ මැතිව් බැස්ටරියුඩ් තැබූ උත්සාහක දිනුම්වලට ස්තුති වන්නටය.

ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක මැක්සිම් මැචිනොඞ් දඬුවම් පහර පහක්ම සාර්ථක කරගත් අතර උත්සාහක දිනුමක් ද ගෝලයක් බවට ප්‍රවර්තනය කළේය. තරගයේ පසු භාගයේදී ඔහු වෙනුවට ක්‍රීඩා කළ ෆ්‍රැන්කොයිස් ට්‍රින් ඩක් ද උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමෙන් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය දුන්නේය.

තරගයේ පළමු භාගයේදී ඉතාලිය දඬුවම් උත්සාහක දිනුමක් ලැබූ අතර ටොමාසෝ ඇලන් සාර්ථක කළ දඬුවම් පහරත්, අන්තිම මොහොතේ මැටියෝ මිනෝසි තැබූ උත්සාහක දිනුමත්, එය ගෝලයක් බවට ප්‍රවර්තනය කළ කාලෝ කැනාත් ආගන්තුක ඉතාලි කණ්ඩායමේ ගෞරවය යම් දුරකට රැක දුන්හ.

තරගය ආරම්භයේදී තිබුණු දෙගිඩියාවෙන් මිදීමට ප්‍රංශය සමත්වූයේ 6 වැනි මිනිත්තුවේදී රෝලිං මෝල් අවස්ථාවකින් සාර්ථක ඵල නෙලාගත් ගේබි්‍රලාගෙස් තැබූ අනගි උත්සාහක දිනුමෙනි. එය ඔහුගේ මුල්ම ජාත්‍යන්තර උත්සාහක දිනුම ලෙසත් වාර්තා විය. ඊට  මිනිත්තු තුනකට පසුව ඉතාලියට දඬුවම් පහරක් පිරිනැමුණු අතර එය ගෝල් කණුව වෙත එල්ල නොකර උත්සාහක දිනුමක් කරා යාමේ අරමුණින් ඉදිරියට ගිය ඉතාලි ක්‍රීඩකයන්ට අන්තිමේදී තීරකවරයා පැනල්ටි ට්‍රයි දිනුමක් පිරිනැමුවේ ප්‍රතිවාදී සීමා ඉර ආසන්නයේ ඇතිවූ රෝලිං මෝල් අවස්ථාව ප්‍රංශ ක්‍රීඩකයන්ගේ වරදින් බිඳ වැටීම නිසාය.

ඒ සමගම ඉතාලිය ලකුණු 7-5 කින් පෙරමුණ ගත්තේය.

කෙසේවෙතත් 29 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර මැචිනොඞ් සාර්ථක කිරීමෙන් ලකුණු 8-7 කින් පෙරමුණ උදුරා ගැනීමට ප්‍රංශය සමත්විය. ඉන් පසුව උත්සාහක දිනුමක් තැබීමට දෙපිලම දැඩි පොරයකට වැටුණත් පළමු භාගයේ අන්තිම මොහොතේ මැචිනොඩ් සිය දෙවැනි දඬුවම් පහරත් සාර්ථක කරමින් ප්‍රංශය ලකුණු 11-7 කින් ඉදිරියට ගෙන යාම හැරුණු විට වෙනත් දෙයක් සිදු නොවීය.

මැචිනොඞ් සිය තුන්වැනි දඬුවම් පහරත් සාර්ථක කරගත්තේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු තුනකට පසුවය. ඒ අනුව ප්‍රංශය ලකුණු 14-7 කින් ඉදිරියට ගියේය. තරගයේ 50 වැනි මිනිත්තුවේදී ටොමාසෝ ඇලන් සාර්ථක කළ දඬුවම් පහර නිසා ලකුණු පරතරය ලකුණු 4ක් දක්වා අඩු කරගැනීමට ඉතාලියට හැකිවිය.

ඉතාලිය ගැන කොහොමටවත් අවතක්සේරු නොකළ ලෙස් බ්ලූස්ලා පීඩනයෙන් මිදුනේ බොනිවල් විසින් 60 වැනි මිනිත්තුවේදී විශිෂ්ට උත්සාහක දිනුමක් තැබීම නිසාය. එය ගෝලයක්  බවට ප්‍රවර්තනය කළ මැචිනොඞ් ප්‍රංශය ලකුණු 21-10 කින් ඉහළට ඔසවා තැබුවේය. ඉන් නොනැවති තවත් දඬුවම් පහර දෙකක්ම සාර්ථක කරගත් මැචිනොඞ් ලකුණු 27-10කින් සිය කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය.

ඊට මිනිත්තු දෙකකට පසුව එනම් 73 වැනි මිනිත්තුවේදී බැස්ටරියුඞ් තැබූ අගනා උත්සාහක දිනුම තරගයේ ජයග්‍රහණය එහෙම පිටින්ම ප්‍රංශය දෙසට හරවා තැබීමට සමත්වූ එකකි. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබුවේ ෆ්‍රැන්කොයිස් විසිනි. ලකුණු 34-10කින් පෙරමුණ ගත් සත්කාරකයන් අභිබවා ජය ලැබීම අන්තිම මිනිත්තු කිහිපයේදී කොහෙත්ම කළ නොහැකි බව දැන සිටියත් අවසන් මොහොතේ මැටියෝ මිනෝසි තැබූ අලංකාර උත්සාහක දිනුම ඉතාලියේ පරාජය තරමක් සැහැල්ලු කර දැමුවේය. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබුවේ කාර්ලෝ කැනා විසිනි.

මේ ජයග්‍රහණයත් සමග ප්‍රංශයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගියේය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින අයර්ලන්තයට හා එංගලන්තයට වඩා දැන් ප්‍රංශය පසුවන්නේ ලකුණු 3ක් පසුපසින් පමණි. ප්‍රංශය මාර්තු 10 වැනිදා එංගලන්තය සමග තරග වැදීමට නියමිත අතර ඊට දිනකට පසුව තම ඊළඟ තරගයට සහභාගිවිමට ඉතාලි  පිල වේල්සය බලා පිටත්වෙයි.


- 077

 


අදහස් (0)

ප්‍රංශයේ ජයග්‍රහණ ඉඩෝරය නිමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.