Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 නඩාල් නොම්මර එකේ තරම පෙන්වයි

නඩාල් නොම්මර එකේ තරම පෙන්වයි

Nisanka Sandeepani - 2017 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නොම්මර එකේ ක්‍රීඩකයකු තරග කරන්නේ කෙසේද යන්න දකුණු අප්‍රිකාවේ කෝඩුකාරයා වන කෙවින් ඇන්ඩර්සන්ට කදිමට කියා දුන් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් නිව්යෝක් නුවර බිලි ජීන් කිංග් ටෙනිස් මධ්‍යස්ථානයේදී පැවැති එක්සත් ජනපද විවෘත ශූරතාවලියේ අවසන් තරගයේදී ලකුණු 6-3, 6-3 සහ 6-4 ක් ලෙස පහසුවෙන්ම ජයගත්තේය.

සිය තුන්වැනි අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගැනීමට සමත් වූ නඩාල් සිය ප්‍රතිවාදී ක්‍රීඩකයාගෙන් කිසිම ආකාරයේ අභියෝගයකට ලක් නොවී මේ අත්කර ගත්තේ ඔහුගේ ටෙනිස් තරග දිවියේ 16 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවයි. 
පසුගිය ජූනි මාසයේ දී ප්‍රංශ විවෘත ටෙනිස් කිරුළ ජයගත් 31 හැවිරිදි නඩාල් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (11 අලුයම) අත්පත් කරගත්තේ මේ වසරේ ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළයි. හෙතෙම වසරක් තුළ ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දෙකක් දිනාගත්තේ වසර 2013 න් පසුවය.

එය ඔහු අවසන් වරට අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනාගත් වසරද විය.

“මේ වසරේදී ශූරතා දෙකක්ම දිනාගැනීම අදහාගත නොහැකියි” ජයග්‍රහණයෙන් පසුව නඩාල් එසේ කීවේය.

“පසුගිය වසර කිහිපය තුළ විවිධ ගැටළු, ආබාධ වගේම නරක විදිහට ක්‍රීඩා කළ අවස්ථාත් එමටයි. ඒ නිසා මෙවර තරගවාරය මම ආරම්භ කළේ තරමක් හැඟුම්බරවයි.”

අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනාගැනීමත් සමග නඩාල් කෙමෙන් කෙමෙන් ලොව වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දිනූ ක්‍රීඩකයා වන ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සතු ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 19 වාර්තාවට  ආසන්න වෙමින් සිටී. ෆෙඩරර් මේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඉවතට විසිවූයේ ජුවාන් මාටින් ඩෙල් පොට්රෝ අතිනි. 
රෆායල් නඩාල් මේ වනවිට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා 10ක්, අමෙරිකානු ශූරතා 3 ක්, විම්බල්ඩන් ශූරතා 2 ක් සහ ඕස්ටේ්‍රලියානු ශූරතාවක් දිනාගෙන සිටී.
අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය මේ වසරේ පැවැති අවසන් ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියයි. 

ඒ අනුව මේ වසරේ නිමාවට පත්වූ ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා දෙකක් ජයගැනීමට නඩාල් සමත්වෙද්දී ෆෙඩරර් ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලිය සහ විම්බල්ඩන් ශූරතාවලිය ජයගත්තේය.

කෙවින් ඇන්ඩර්සන් අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වූයේ වාර්තාපොත අලුත් කරමිනි. 31 හැවිරිදි මේ දකුණු අප්‍රිකානුවා තරගයේ පරාජයෙන් පසුවත් ජයග්‍රහණය මුසු සතුටකින් පසුවිය.

“මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා”
“මේක හරි අමාරු තරගයක්. විසි වතාවකට වඩා මේ වේදිකාවට නැගපු ක්‍රීඩකයෙක් එක්ක තරග කරනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි” ඇන්ඩර්සන් කීවේය.

-077
 

 


අදහස් (0)

නඩාල් නොම්මර එකේ තරම පෙන්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.