Last Update  :  2024-05-18 09:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කුක් - බ්‍රෝඩ් රස්සාව බේරාගනිති

කුක් - බ්‍රෝඩ් රස්සාව බේරාගනිති

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළු බඳුන හිමින්නේ කාටද යන්න මේ වන විටත් තීරණය වී අවසන් වූවත් තමන්ගේ රස්සාව බේරා ගැනීමට ඇලිස්ටෙයාර් කුක් මෙන්ම ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙදෙනාම සමත් වූහ. සිවුවැනි අළුබඳුන තරගයේ දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම පාහේ සියතට ගත් මෙම පළපුරුදු ක්‍රීඩකයෝ දෙදෙනා ඕස්ට්‍රේලියානුවන්ගේ ඔද තෙද බිඳ දැමූහ.

පළමු දිනය නිමාවේදී කඩුලු 3 කට ලකුණු 244 ක් ලබා සිටි ඕස්ට්‍රේලියානු පිලේ අවසන් කඩුලු 7 ම ලකුණු 67 කට බිඳ දැමූ එංගලන්ත පිල දෙවැනි දිනයේ තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටියේය.  එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා තවත් ලකුණු 135 ක් පසුපසින් සිටි අතර ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි ආරම්භක පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 104 ක්ද, නායක ජෝ රූට් ලකුණු 49 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ඇලිස්ටෙයාර් කුක් මෙම තරගාවලියේ පළමු තරග තුනේදීම ලබා සිටියේ ලකුණු 83 ක් පමණි. ලකුණු 66 දී දුන් උඩපන්දුව ස්ලිප්හි සිටි ස්ටීවන් ස්මිත්ගේ දෑතින් ගිළිහී යාමෙන් නිසි ප්‍රයෝජන ගත් හිටපු නායකයා සිය 32 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ටෙස්ට් ක්‍රීඩාංගණ පහේදීම ටෙස්ට් ශතක ලබා තිබේ. වසර 2006 දී පර්ත් ක්‍රීඩාංගණයේදී (116 යි), වසර 2010 දී බ්‍රිස්බේන්හිදී (නොදැවී 235) සහ ඇඩිලේඞ්හිදී (148 යි), වසර 2011 දී සිඞ්නිහිදී (189 යි) ශතක ලබාගත් ඇලිස්ටෙයාර් කුක් සුප්‍රකට මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද දිනය නිමා කළේ නොදැවී ලකුණු 104 ක් ලබාගනිමිනි.

ඇලිස්ටෙයාර් කුක් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩාංගණ පහේදීම ටෙස්ට් ශතක ලබාගත් ඕස්ට්‍රේලියානු ජාතිකයකු නොවන ලොව දෙවැනි ක්‍රීඩකයාය. ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගවස්කාර් එවන් දස්කමක් කළ පළමු විදෙස් ක්‍රීඩකයාය.

දෙවැනි දිනයේ තරගය නතර කරන විට කුක් සහ රූට් එක්ව එංගලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 112 කි. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ කුක් පන්දු 164 කදී හතරේ පහර 15 ක් සමගින් සිය 32 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. සිය 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය ආසන්නේ සිටින රූට්ගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 35 ක් වන විට නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 15 ක් ලබා සිටි මාර්ක් ස්ටෝන්මන් පිටියෙන් ඉවත්ව ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි ජේම්ස් වින්ස්ටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට නොහැකි වූ අතර ජොස් හේසල්වුඞ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 17 ක් පමණි.

ලකුණු 76 ක් ලබා සිටි නායක ස්ටීවන් ස්මිත් සිය මංගල ටෙස්ට් කඩුල්ල බවට පත්කර ගැනීමට සමත් වූ ටොම් කරන් ඕස්ට්‍රේලියානු ඉනිම සුනුවිසුණු කිරීමට මුල පිරුවේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ස්ටුවර්ට් බ්‍රෝඞ් සහ ජේම්ස් ඇන්ඩසන් ලකුණු 67 ක් ඇතුළත පිතිකරුවන් 5 දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත යවමින් ඕස්ටේ්‍රලියානු ඉනිම ලකුණු 327 කට සීමා කළහ.

තරගාවලියේ මෙතක් පැවැති දස්කම් ප්‍රමාණවත් නොවීම නිසා ස්ටුවර්ට් බ්‍රෝඞ් කණ්ඩායමෙන් ඉවත් කළ යුතු යයි හිටපු නායක මයිකල් වෝන් පවා කියා සිටියේය. එහෙත් ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගත් බ්‍රෝඞ් දෙසතියකට ඉහතදී තමන් සමග එක්ව නිවාඩුවක් ගතකළ වෝන්ට කදිම පිළිතුරක් දුන්නේය.
අද දිනයේදී දවාගත් කඩුලු 3 ත් සමගින් අළු බඳුන ඉතිහාසයේ කඩුලු 100 ක් දවාගත් පන්දු යවන්නන් අතරට ඇන්ඩසන් එක්වූයේය.


- 036

 


අදහස් (0)

කුක් - බ්‍රෝඩ් රස්සාව බේරාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.