Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 අයර්ලන්තය ආධිපත්‍යය රැකගනී

අයර්ලන්තය ආධිපත්‍යය රැකගනී

Nisanka Sandeepani - 2018 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සයකොන් රග්බි ශූරතාවලියේ සිය ආධිපත්‍යය තව දුරටත් රැක ගත් අයර්ලන්තය ඊයේ පැවැති තරගයේදී ලකුණු 37-27 කින් වේල්සය පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේය. එපමණක් නොව අයර්ලන්තයේ ඩබ්ලින්හි අවිවා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී දැක්වූ දස්කම් අනුව මෙවර ශූරතාවලිය ග්‍රෑන්ඞ් ස්ලෑම් නම්බු සහිතව ජයගැනීමේ බලාපොරොත්තුවත් ඉහළ දමාගැනීමටද අයර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. 

පසුගිය වසරේ ශූරයන් වන එංගලන්තය ඊයේ පැවැති අනික් තරගයෙන් ස්කොට්ලන්තය හමුවේ පරාජය වීම නිසා ශූරතාවලියේ ඉතිරිව සිටින එකම අපරාජිත කණ්ඩායම බවටද අයර්ලන්තය පත්විය.

තරගයේ පළමු භාගයේ එක් වතාවකදී ප්‍රතිවාදින් හමුවේ ලකුණු 8 කින් පසුබැස සිටි අයර්ලන්තය දෙවැනි භාගයේ මැද හරියේදී මිනිත්තු 10 ක් තුළ තරගයේ වාසිය ලකුණු 27-13 ක් ලෙස සියතට ගත්තේ ඩැන් ලෙවී සහ සියැන් හීලි තැබූ උත්සාහක දිනුම් නිසාය. ජොනී සෙක්ස්ටන් ඉන් පළමුවැන්න ගෝලයක් බවට ප්‍රවර්තනය කළ අතර දෙවැන්න සාර්ථක නොවීය. 

කෙසේ වෙතත් ජයග්‍රහණය හඹා යමින් වරින් වර පෙරමුණ ගන්නා වේල්සය 62 වැනි මිනිත්තුවේදී ආරොන් ශිංග්ලර් තැබූ අනගි උත්සාහක දිනුම ලෙයි හාෆ්පෙනී විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් සිය ලකුණු සංඛ්‍යාව 20 දක්වා ඉහළ දමාගත්තේය.

වේල්සයේ සටන්කාමීත්වය හමුවේ ලකුණු පරතරය රඳවා තබා ගැනීමට අයර්ලන්තය සමත්වූයේ දැඩි වෙහෙසකින් පසුවය.
තරගයේ අවසන් මිනිත්තු දහය එළැඹෙද්දී ලකුණු 27-20 කින් පෙරමුණ රැක ගැනීමට අයර්ලන්තය සමත්වූ අතර 76 වැනි මිනිත්තුවේදී කෝනර් මරේ දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමග ලකුණු 30-20 කින් ඉදිරියට යමින් ජයග්‍රහණයට කිට්ටු කළේය.

එහෙත් හිටි හැටියේම හිස එසැවූ වේල්සය ලකුණු සංඛ්‍යාව 30-27ක් ලෙස ලකුණු පරතරය අඩු කළේ තරගය නිමාවීමට මිනිත්තු දෙකක් තිබියදී ස්ටෙෆ් ඉවන්ස් තැබූ ප්‍රතිවාදීන් අන්දමන්දවී ගිය උත්සාහක දිනුමකිනි. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට හාෆ් පෙනී සමත්වීමත් සමග  සත්කාරකයන්ගේ පීඩනය ඉහළ ගියේය. 

එය සමනය කළේ අවසන් මිනිත්තුවේදී තීරණාත්මක උත්සාහක දිනුම තැබූ ජේකොබ් ස්ටොක්ඬේල්ය. එය ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම ද විය. කිසිදු අපහසුවකින් තොරව එය ගෝලයක් බවට ප්‍රවර්තනය කළ ජෝයි කෝබෙරි අයර්ලන්තයේ ජයග්‍රහණය තහවුරු කළේය. 

- 077

 


අදහස් (0)

අයර්ලන්තය ආධිපත්‍යය රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.