Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකාවට ඉනිමක දැවැන්ත ජයක්

ශී‍්‍ර ලංකාවට ඉනිමක දැවැන්ත ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

මීර්පූර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදීම බංග්ලාදේශය පරදවා ඉනිමක සහ ලකුණු 248 ක දැවැන්ත ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරග දෙකකින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණ ගත්හ.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 498 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ පිල ලකුණු 250 කට සීමා කිරීමට ඩිල්රුවන් පෙරේරා (109/5) ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. සිය දෙවැනි ටෙස්්ට් තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඩිල්රුවන් පෙරේරා බංග්ලාදේශ ඉනිමේ විනාශකාරයා බවට පත්විය.

පෙරවරුවේදීම සාර්ථක පන්දු යැවීමක නිරත වූ ඩිල්රුවන් පෙරේරා දිවා ආහාරයට පෙර බිද වැටුණු කඩුලූ පහෙන් තුනක් දවා ගනිමින් බංග්ලාදේශ කණ්ඩායම අමාරුවේ දැමීය.

බංග්ලාදේශ පිලේ සිටින වඩාත්ම පළපුරුදු තුන් ඉරියව් කී‍්‍රඩකයා වන සකීබ් අල් හසන් පිටියෙන් ඉවත් කරමින් කඩුලූ අතරට අවතීර්ණ වූ ඩිල්රුවන් පෙරේරා පැය එකහමාරකට වැඩි කාලයක් පිටියේ රැඳෙමින් අර්ධ ශතකයක් ලබාගත් මොමිනුල් හක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් ඔහගේ ඉනිමද ලකුණු 50 කට සීමා කළේය.

ශී‍්‍ර ලංකාවට එරෙහිව නිතරම හොඳ දස්කම් දක්වන කී‍්‍රඩකයකු වන බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම්ගේ ඉනිම ද ලකුණු 14 කට නතර කළ ඩිල්රුවන් අද පෙරවරුවේදී පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටියේ මාර්ෂල් අයුබ් (50) සහ ශකීබ් අල් හසන් (25) දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාවද ලකුණු 52 කට සීමා කරමිනි.

දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ වී සුළු වේලාවකින්ම ග‍්‍රහණය දැඩිකළ සුරංග ලක්මාල්  ඕවර 9 ක් ඇතුළතදී සොහාග් ගාසි සහ රොබිඋල් ඉස්ලාම් පිටියෙන් ඉවත් කරමින් බංග්ලාදේශ පිතිකරු ලයිස්තුවේ පසුපෙළ පිතිකරුවන්ට දොරටු විවර කර දුන්නේය.

ඒ සමගම වාගේ ඩිල්රුවන් පෙරේරා විසින් ලකුණු 29 ක් ලබා සිටි නසීර් හොසේන් දවාගත් නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක් එක්කළ රුබෙල් හොසේන් සහ අල් අමීන් හොසේන් ශී‍්‍ර ලංකා ජයග‍්‍රහණය ප‍්‍රමාද කළහ.

තරගයේ වීරයා වශයෙන් මහේල ජයවර්ධන සම්මාන දිනාගත්තේය.

තරගයෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ මහේල ජයවර්ධන කියා සිටියේ තමන් කලක සිටම දිගු ඉනිමක් සොයමින් සිටි බවයි.

”මට කලකින් දිගු ඉනිමක් කරා යන්නට බැරිවුණා. මා හිතන්නේ මෙය ඉතාමත් හොඳ තරගයක්. කණ්ඩායමේ හැමෝම ඊට දායක වුණා”

”ඒ වගේම තණතීරුවත් ඉතාමත් හොඳ එකක්. අද තරගයේ හතරවැනි දිනය වුණත් අපේ වේග පන්දු යවන්නන්ට අවශ්‍ය වේගය එහි තිබුණා. දග පන්දු යවන්නන්ට අවශ්‍ය දග කැවීමත් තිබුණා. ඒත් වැදගත්ම දේ වුණේ තණතීරුවේ තිබුණ ඉපිළීමයි. අපට උපකාරී වුණේ එයයි” යයි මහේල තරගයෙන් අනතුරුව පැවසීය.

ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ ඩිල්රුවන් පෙරේරා හොඳ සොයාගැනීමක් බවයි.

”ඔහු තාම කී‍්‍රඩා කලේ තරග දෙකකට පමණයි. ඒ තරග දෙකේදීම ඔහු විශිෂ්ට දස්කම් පෙන්නුවා..එකක පිත්තෙන් අනෙක් තරගයේදී පන්දුවෙන්. මා හිතනවා ඔහු තමන්ගේ දායකත්වය දිගටම පවත්වාගෙන යාවි කියලා” යයිද ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 4 වැනිදා චිතගොන්හිදී ආරම්භ වේ.

ලකුණු පුවරුව


අදහස් (3)

ශී‍්‍ර ලංකාවට ඉනිමක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.