Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකාව ප‍්‍රබල තත්ත්වයක

ශී‍්‍ර ලංකාව ප‍්‍රබල තත්ත්වයක

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

කුමාර් සංගක්කාරගේ (319) වාර්තාගත ත‍්‍රිත්ව ශතකය නිසා බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හි, ශහුර් අහ්මඞ් චෞද්රි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (05* ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 587 ක් රැස් කිරීමට සමත් විය.

දෙවැනි දිනය වන අද පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 86 ක් රැස්කර සිටියේය.

කුමාර් සංගක්කාර පන්දු 482 කදී හතරේ පහර 32 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 319 ක් රැුස්කර අවසන් පිතිකරුවා ලෙස දැවී යෑමත් සමග දෙවැනි දිනයේ තේ පානය සදහා තරගය අත්හිටුවීය. මෙම ලකුණු 319 කුමාර් සංගක්කාරගේ ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ පළමු ත‍්‍රිත්ව ශතකය වේ. මෙය ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ 27 වැනි ත‍්‍රිත්ව ශතකයයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් වන මහේල ජයවර්ධන (374) සහ සනත් ජයසූරිය (340) මීට පෙර ටෙස්ට් තරග වලදී ත‍්‍රිත්ව ශතක ලබා තිබේ. බ‍්‍රයන් ලාරා නොදැවී ලකුණු 400 ක් රැුස්කරමින් ඉහළතම ටෙස්ට් ඉනිමට හිමිකම් කියයි.

මෙම ත‍්‍රිත්ව ශතකයත් සමග කුමාර් සංගක්කාර වසර 137 ලෝක ටෙස්ට් ක‍්‍රිකට් වංශ කථාවේ අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 11,000 ක් සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා බවට පත්විය. සංගක්කාර මේ වන විට ටෙස්ට් තරග 122 ක ඉනිම 208 කදී ලකුණු 11,046 ක් රැස්කර සිටියි.

බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු සුපිරි පිතිකරු බ‍්‍රයන් ලාරා 2005 වසරේදී ඉනිම 213 කදී ලකුණු 11,000 සම්පූර්ණ කරමින් වේගවත්ම ලකුණු 11,000 රැුස්කිරීමේ වාර්තාවට හිමිකම් කීය.  

කුමාර් සංගක්කාර ලකුණු 277 ක් ලබා සිටියදී ශී‍්‍ර ලංකා පිලේ අංක 10 පිතිකරු සුරංග ලක්මාල් දැවී යෑමෙන් සංගක්කාර ත‍්‍රිත්ව ශතකය කරා යාමේ අවස්ථාව අවදානම් තත්ත්වයකට පත්විය. එහෙත් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කළ සංගක්කාර, නවවැනි කඩුල්ල බිද වැටී  ඕවර 3.5 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ත‍්‍රිත්ව ශතකය සම්පූර්ණ කළේය.

අද පෙරවරුවේ ලකුණු 200 සම්පූර්ණ කිරීමත් සමගම වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයට සංගක්කාර පැමිණියේය.  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු සුපිරි පිතිකරු ශ‍්‍රීමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් රැස්කරමින් පළමු ස්ථානයේ පසු වෙයි.

බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරු බ‍්‍රයන් ලාරා ටෙස්ට් තරග 131 කදී ද්විත්ව ශතක 9 ක් රැුස්කරමින් දෙවැනි ස්ථානයේ පසු වූ අතර කුමාර් සංගක්කාර සිය 122 වැනි තරගයේදී මෙම ද්විත්ව ශතකය රැුස්කිරීමත් සමග බ‍්‍රයන් ලාරා තෙවැනි ස්ථානයට තල්ලූ විය.

සංගක්කාර, ලකුණු 192 සිටියදී මහුමුදුල්ලා යැවූ ඉනිමේ 109 වැනි  ඕවරයේ දෙවැනි සහ සිවුවැනි පන්දුවට පියවර කීපයක් ඉදිරියට පැමිණෙමින් මිඞ් ඕන් ක‍්‍රීඩකයාගේ හිසට ඉහළින් ගැසූ අලංකාර හතරේ පහර දෙකෙන් මෙම වාර්තාගත ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය.

දිවා විවේකය සදහා ක‍්‍රීඩාව නතර කරන විට කුමාර් සංගක්කාර ලකුණු 223 ක් ලබා ලකුණු 11,000 ට තවත් ලකුණු 50 ක් පමණක් මෑතින් සිටියේය.

සංගක්කාරගේ ත‍්‍රිත්ව ශතකය පිළිබඳ බලාපොරොත්තු ඉහළ නැංවූ අන්ජන්ත මෙන්ඩිස් පන්දු 67 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 47 ක් රැස් කළේය.

සංගක්කාර සහ මෙන්ඩිස් අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩ නැගුණු අතර මෙන්ඩිස් පිටියට පැමිණෙන විට සංගක්කාර ලකුණු 203 ක් ලබා සිටි අතර මෙන්ඩිස් පිටියෙන් ඉවත් වන විට සංගක්කාර ලකුණු 253 ක් ලබා සිටියේය.

කිත්රුවන් විතානගේ (35) අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටියදී විනිසුරු පෝල් රයිෆල් විසින් දෙන ලද අවාසනාවන්ත තීරණයක් හේතුවෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

බංග්ලාදේශ පිලේ පළමු කඩුල්ල ලෙස සිවුවැනි පන්දුවේදී තමීම් ඉක්බාල් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිටියේය. දිනය අවසන් වන විට ශම්සූර් රහමන් (නොදැවී 45) සහ ඉම්රුල් කයිස් (නොදැවී 36) දෙවැනි කඩුල්ල සදහා ලකුණු 86 ක නොබි`දුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.

තරගයේ පළමු දිනය වූ ඊයේ (04) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිමේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 314 ක් ලබා සිටියේය. ඒ වන විට කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 160 ක් රැස්කර තිබුණි.

ලකුණු පුවරුව

048


අදහස් (7)

ශී‍්‍ර ලංකාව ප‍්‍රබල තත්ත්වයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.