Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 විම්බල්ඩන් පිටියේදී නතර කළ නොහැකි නොවැක්

විම්බල්ඩන් පිටියේදී නතර කළ නොහැකි නොවැක්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දශකයකට වැඩි කාලයක් පුරා ලෝක ටෙනිස් පිටියේ ආධිපත්‍ය පතුරුවමින් ප‍්‍රධාන මට්ටමේ ටෙනිස් ශූරතා 35 කින් 34 ක්ම බෙදාහදාගත් සුපිරි කී‍්‍රඩකයන් 4 කගේ යුගය නිමාකළ නොවැක් ඩිජොකෝවික් ලන්ඩන් නුවර විම්බල්ඩන් පිටියේදී රොජර් ෆෙඩරර් තරග වට 3-1 කින් පරදවා තුන්වැනි වරටත් විම්බල්ඩන් කිරුළට හිමිකම් කීවේය. අවසන් මහ තරගයේදී ලකුණු සටහන් වූයේ 7-6, 6-7, 6-4 ක් සහ 6-3 ක් ලෙසිනි.

තවමත් 28 හැවිරිදි මේ සර්බියානු කී‍්‍රඩකයා විම්බල්ඩන් ජයග‍්‍රහණයත් සමග සිය ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන මල්ල 9 දක්වා වැඩි කරගත්තේය. ජිමි කෝනර්ස්, ඇන්ඩි‍්‍ර අගාසි, ඉවාන් ලෙන්ඞ්ල් වැනි දැවැන්තයන්ද, අභිබවා යමින් විම්බල්ඩන් ශූරතා 8 ක් දිනූ පළමුවැන්නා ලෙස වාර්තාපොතට එක්වීමට සිහින දුටු ෆෙඩරර්ට තවත් වසරක් ඒ වෙනුවෙන් බලා සිටීමට සිදුවිය.

ඩිජොකෝවික් ඉදිරියේ දණ නොනමා සිටීමට 33 හැවිරිදි ස්විට්සර්ලන්ත කී‍්‍රඩකයා පැය දෙකකුත් මිනිත්තු 56 ක් පුරා දැඩි උත්සාහයක නිරත විය.

”මට කියන්න තියෙන්නෙ රොජර් එක්ක තරග කිරීම විශාල අභියෝගයක් කියලයි. මගේ පරපුරේ බොහෝ කී‍්‍රඩකයන් පවා දැන් ඔහුවයි අනුගමනය කරන්නේ” යයි තරගයෙන් පසුව සිය මිතුරාට ඩිජොකෝවික් ලබාදුන්නේ එවැනි සහතිකයකි.

”අවංකකම තමයි ඩිජොකෝවික්ගේ හොඳම යාළුවා. ප‍්‍රංශ විවෘත තරගාවලියේ පරාජයවීමෙන් පසුව එය සතුටින් බාරගෙන ලන්ඩනයට ඇවිත් ඊයේ ඔහුගේ හොඳම තරගය කී‍්‍රඩා කළා”

”ඒත් ෆෙඩරර් තමයි මිනිහා. ඔහු සමග කරට කර තරග කළ හැකි, මේ ශ්‍රේෂ්ඨයන් දෙදෙනාගේ තරගය නැරැඹීමට ලැබීමත් සතුටක්” යයි විම්බල්ඩන් අවසන් මහා තරගයට තුන් වතාවක් එක්වූ ඇන්ඩි රොඩික් පැවසීය.

ඩිජොකෝවික් හමුවේ තමා ලද පරාජය යළි යළිත් මෙනෙහි කරන හිටපු අංක එකේ කී‍්‍රඩක ෆෙඩර්ර් කියන්නේ පළමු වටයේ හා තුන්වැනි වටයේ දී ජය අත්කරගැනීමේ කදිම අවස්ථාවක් තමන්ට තිබූ බවය. එහෙත් ඔහුට ජයගැනීමට හැකිවූයේ දෙවැනි වටය පමණි.

”ඔහු වේගවත් කී‍්‍රඩකයෙක්. මම නරක විදිහට නෙවෙයි සෙල්ලම් කළේ. ඒත් කී‍්‍රඩාවේ ස්වභාවය ඒකයි”

විම්බල්ඩන් ටෙනිස් සංකීර්ණයේ මධ්‍යම පිටියේ පැවැති මේ තරගය දැකබලා ගැනීමට කී‍්‍රඩාලෝලීන් 15,000  කට අධික සංඛ්‍යාවක් එක්රැුස්වී සිටි අතර වර්ෂාව නිසා තරගය ආරම්භ කළේ නියමිත වේලාවට නොවේ. ඩිජොකෝවික් පරළ වෙන්නට පටන් ගත්තේ තරගයේ පළමු වට දෙක 1-1 ක් ලෙස නිමාවට පත්වීමෙන් පසුවය.

ජය අත්කර ගත් වහාම මීට පෙර මෙම භූමියේ ජයග‍්‍රහණ අත්කරගත් අවස්ථාවල මෙන් මෙවර ද ඔහු සිය පි‍්‍රයතම විම්බල්ඩන් පිටියේ තණකොළ කැබැලි කිහිපයක් මුවේ රුවා ගත්තේය. ඔහු එසේ කරද්දී ඔහුගේ පුහුණුකරු මෙන්ම හිටපු විශිෂ්ඨ කී‍්‍රඩකයකුද වන බොරිස් බෙකර් හා බිරිය ජෙලීනා ඇතුළුව තවත් හිතමිතුරන් රැසක්ම ප‍්‍රධාන කි‍්‍රඩාගාරයේ සිට මේ ජයග‍්‍රහණය සමරමින් සිටියහ.

නොවැක්ගේ ජයග‍්‍රහණය ප‍්‍රාර්ථනා කළ කී‍්‍රඩාලෝලින් සිටියේ අතලොස්සකි.

බහුතරය සිටියේ ෆෙඩර්ර්ගේ පිලේය. සිය පි‍්‍රයතම කී‍්‍රඩකයා පරාජය කරා ගමන් ගනිද්දී ඔවුහු වේදනාවෙන් කෑගසන්නට වූහ. ප‍්‍රතිවාදී පිලේ විරෝධතා මැද කළු තොප්පියක් පැළඳි ගොපලූ තරුණයකු වීමට නොවැක්ට අවශ්‍ය වූයේ නැත. එහෙත් එවැනි යමක් අවශ්‍ය කෙරෙන්නේ නම් ඒ සඳහා නොපැකිලිව තමා සූදානම් බවද ඔහු පෙන්නුම් කළේය.

”පිටිය වටා ෆෙඩරර්ලා ගොඩක් හිටියා. මම මිනිස්සුන්ගෙන් එය බලාපොරොත්තු වුණා” ඩිජොකෝවික් කීවේය.

”මම හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක්. මොකද රොජර් තමයි පිටියේදිත් ඉන් පිටතදීත් ශූරයා. ඔහු හැමෝගෙම සිත් ඇදබැඳ තබාගත් කෙනෙක්. තරගයක ප‍්‍රතිඵල මත නොවෙයි, ඔහුගේ චරිතය මත අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු සිය ප‍්‍රතිරූපය හොඳින් නඩත්තු කරමිනුයි ඉන්නේ. මටත් කවදාහරි ඒ වගේ දවසක් ඒවි” යයි නොවැක් කියයි.

ඒ කෙසේ වෙතත් ෆෙඩරර්ගේ ජයග‍්‍රහණය පතා ඔහුට විරෝධය පෑ කී‍්‍රඩාලෝලීන්ගේ වෑයම අවසානයේ දී නිශ්ඵල එකක් බවට පත් කිරීමට නොවැක්ට හැකිවිය.


 - 077

 


අදහස් (0)

විම්බල්ඩන් පිටියේදී නතර කළ නොහැකි නොවැක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.