Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මහේල ජයවර්ධන සුබවාදී මතයක

මහේල ජයවර්ධන සුබවාදී මතයක

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

හිටපු නායක මහේල ජයවර්ධන පවසන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ අභාග්‍ය සම්පන්න සමය අවසන් වී තිබේ. කණ්ඩායමේ නායකත්වය සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය තීරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබ ඇත.

අබුඩාබිහි ‘ද නැෂනල්’ පුවත් පත හා සාකච්ඡාවකට එක්වෙමින් මහේල ජයවර්ධන කියා සිටියේ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වීමත්, ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් සීමිත ඕවර කණ්ඩායමේ නායකයා වීමත් සම්බන්ධයෙන් තමන් ඉතා සතුටට පත්වන බවයි.

නිමාවූ 2017 වර්ෂය මතකයෙන් අකාමකා දැමිය හැකිනම් කණ්ඩායමේ ක්‍රීඩකයන් පමණක් නොව සියලුම ශ්‍රී ලාංකිකයෝත් ඊට කැමති වනු ඇත. වසර පුරාම නොන්ඩි ගසමින් ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අර්බුදයෙන් අර්බුදයට මාරු වුණා විනා සාර්ථකත්වයේ සේයාවක් හෝ දුටුවේ නැති තරම්ය. සැනසීමට කාරණාවක් තිබුණේ නම් ඒ පාකිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ලද ජය පමණි. එයද මිස්බා උල්හක් සහ යුනිස් ඛාන් නැති පාකිතස්තානු කණ්ඩායමක් විය.

පසුගිය වසරේදී එක්දින තරග 29 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ එයින් 5 ක් පමණි. තරගාවලි තුනක්ම 5-0 ක් ලෙසින් පරාජය විය. පරිපාලන අර්බුද නිමක් නැතිවිය. අසාර්ථක වීමේ අර්බුදයෙන් ගොඩඒමට උත්සාහ ගනිමින් සිටියදී හිටපු නායක අර්ජුන රණතුංගගේ අවලාද හේතුවෙන් කණ්ඩායමේ ධෛර්යය තවත් සිඳී ගියේය.

තත්ත්වය එසේ තිබියදී කණ්ඩායමේ නව පුහුණුකරුවා වශයෙන් පත්ව ආ චන්දික හතුරුසිංහ මහතා සිය වගකීම් බාරගත්තේ පුහුණුකරුවකුට අයත් නොවන අතිරේක කාර්යයක් වන තේරීම් කමිටු සාමාජිකයකු වීමේ වගකීමත් සියතින් කරපිට පටවා ගනිමිනි. ඒ සම්බන්ධයෙන් මහේල ජයවර්ධනට ඇත්තේ මහත් සතුටකි.
“චන්දික ඉතාමත් හොඳ තෝරාගැනීමක්”

“එකක් එයා ඉතාමත් හොඳ පුහුණුකරුවෙක්. එයා ක්‍රීඩාවේ තියෙන උපක්‍රම වගේම ඒවා තරගයකට යොදාගන්නේ කොහොමද කියන එකත් හොඳින් දන්නවා.... අනෙක එයා ශ්‍රී ලාංකිකයෙක්. එයා අපේ සංස්කෘතිය හඳුනනවා විතරක් නෙමේ මෙතන ඉන්න ක්‍රීඩකයන් හුඟ දෙනෙක්ව පුංචි කාලේ ඉඳන්ම දන්නවා” යයි මහේල ජයවර්ධන අබුඩාබි ගොල්ෆ් පිටියේදී පැවසීය.

ටෙස්ට් තරග 149 කට, එක්දින තරග 448 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 55 කට සහභාගි වී ඇති මෙම ප්‍රවීන ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින ප්‍රශ්නය දෙස බලන්නේ වෙනත් ඇසකිනි. මහේලගේ අදහස අනුව හතුරුසිංහ සහ මැතිව්ස් දෙදෙනා අතර දැඩි සම්බන්ධතාවක් අවශ්‍ය වෙයි.

“ඔහු කණ්ඩායමේ ඉන්න වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයා විතරක් නෙමේ, ඔහු නායකයකුගේ ගතිගුණත් තියෙන ක්‍රීඩකයෙක්.......” මැතිව්ස් සම්බන්ධයෙන් මහේලගේ තක්සේරුව ඉතාමත් පැහැදිළිය. එහෙත් මැතිව්ස්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ අනුන් විසින් ගනු ලබන තීරණ මත නොරැඳී කණ්ඩායමට නායකත්වය දෙමින් එය ඉදිරියට ගෙනයාම තමන්ට කළ හැකි දෙයක් බව ලෝකයාට දැනෙන්න පෙන්වන ලෙසයි.

“බොහෝ වෙලාවට චන්දික එයාව ඒකට පොළඹවාවි. එහෙම වුණොත් එයා නියම නායකයෙක් විදිහට කණ්ඩායම මෙහෙයවාවි” යයිද මහේල පැවසීය.

කෙසේ වෙතත් එක රැයකින් සියල්ල වෙනස් වේ යයි බලාපොරොත්තු තබාගත යුතු නැති බවද මෙම ප්‍රවීන ක්‍රීඩකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“කණ්ඩායමේ පරිපාලන ගැටළු විසඳු පමණින් සියල්ලම වෙනස් වේ යයි හිතන්න නරකයි. මොකද අනෙක් දේවලුත් සෑහෙන දුරට කඩා වැටිලා තියෙන්නේ. ඒවත් නියමිත පරිදි වෙන්න ඕනේ....ඒ කියන්නේ තේරීම් කටයුතු වගේම එක එක්කෙනාගේ ඇඟිලි ගැහීම් නැතිව, පුහුණුකරුවාට නිදහසේ එයාගේ කාර්යය කරගන්න පුළුවන් වටපිටාවත් තියෙන්න ඕනේ. වැදගත්ම දේ ඒක තමයි”  

“බොහෝ වෙලාවට කණ්ඩායමේ ඉන්න තරුණ ක්‍රීඩකයන්ට දැන් තරමක් තැන්පත් වෙලා තමන්ගේ ක්‍රීඩාව පාඩුවේ කරගෙන යන්න පුළුවන් වෙයි” යයිද හෙතෙම පැවසීය.

පුහුණුකරුවාගේ උපදෙස් පිළිපැදීමට ක්‍රීඩකයන් නිර්භය වන අවස්ථාවකදී ක්‍රීඩකයන් වෙනුවෙන් හඬ අවදි කිරීම සඳහා පුහුණුකරුවාට දැන් ලැබී තිබෙන අවස්ථාව ඉතාම් වැදගත් එකකි. එවන් තත්ත්වයකදී ක්‍රීඩකයන් වෙනුවෙන් යම් යම් ඉලක්ක සැපයීමටත් එවන් ඉලක්ක කරා ක්‍රීඩකයන් තල්ලු කිරීමටත් පුහුණුකරුවාට ශක්තිමත් පසුබිමක් ලැබේ.

“ඇත්තටම කියනවා නම් ක්‍රීඩකයන්ට වුණත් පසුගිය අවුරුදු දෙක ඇතුළේදී හරිම අමාරු තත්ත්වයක් තිබුණේ. එයාලට දොස් කියන්නත් අමාරුයි...මොකද ක්‍රීඩකයන් තේරීමේ ක්‍රමවේදය කිසි පිළිවෙලකට තිබුණ දෙයක් නෙමේ”

“මාස 16 ක් ඇතුළේ ක්‍රීඩකයන් 42 ක් හුවමාරු වෙනවා කියන්නේ එතැන කිසිම ස්ථාවර බවක් නෑ කියන එකයි..ඔබේ ක්‍රීඩකයන් ගැන විශ්වාසයක් තියෙනවා නම් ඔවුන්ට සාධාරණ කාලයක් දෙන්න ඕනේ..”
“අනෙක් අතට අන්තර්ජාතික තරග වලට සහභාගිවීමම ඉගෙන ගැනීමක්. දිගින් දිගටම ක්‍රීඩකයන් වෙනස් වෙන්න ගියාම එයින් ඔවුන්ට කිසිම ආකාරයේ ආත්ම විශ්වාසයක් ලැබෙන්නේ නෑ” යයිද මහේල පැවසීය.

මහේල ජයවර්ධනගේ මතය අනුව ක්‍රීඩකයන් තේරීම සම්බන්ධයෙන් කිසියම් ක්‍රමවත් සැලැස්මක් තිබිය යුතුය. එවැන්නක් පසුගිය වසර දෙකේදී තිබුණ බවක් නොපෙනේ.

“ඇත්තටම කරන්න ඕනෑ දේ මේකයි. ක්‍රීඩකයන් 15ක 20ක විතර සංචිතයක් තෝරාගෙන 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔවුන් සූදානම් කිරීමයි” යයි ලෝක කුසලාන අවසන් මහ තරග දෙකක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමෙන් පසුව 2014 විස්සයි20 ලෝක ශූරයන්ගේ කණ්ඩායමේ සාමාජිකයකුව සිටිමින්, තිරෙන් පිටුපස සිට සියල්ලටම ගුරුහරුකම් දුන් ක්‍රීඩකයා පැවසීය.

මහේල මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දරයි. මහේල පුහුණුකරු ධූරය බාරගත් පළමු වසරේදීම (2017) අයි.පී.එල්. කුසලාන දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.
 


ශ්‍රී ලාංකිකයකු වන අමිත් පසැල්ල අබුඩාබියේ ‘ද නැෂනල්’ පුවත් පතට සැපයූ ලිපියක් ඇසුරිනි.
සැකසුම : දමින්ද විජේසූරිය

 


අදහස් (0)

මහේල ජයවර්ධන සුබවාදී මතයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.