Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මහේල - කිත්රුවන් බංග්ලාදේශය අසරණ කරති

මහේල - කිත්රුවන් බංග්ලාදේශය අසරණ කරති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

මහේල ජයවර්ධනගේ (නොදැවී 203) ද්විත්ව ශතකයත්, කිත්රුවන් විතානගේ (නොදැවී 103) ලබාගත් ශතකයත් නිසා බංග්ලාදේශයට එරෙහිව මීර්පූර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (29 වැනිදා) ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 730 ක් රැස්කිරීමට සමත් විය. මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාවත් සමගින් ලකුණු 498 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශ පිලට පැවරීය.

අද සවස කී‍්‍රඩාව නතර කරන විට බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටි අතර තවමත් ශී‍්‍ර ලංකාවට වඩා ලකුණු 463 ක් පසුපසින් සිටී. ඉනිමේ තුන්වැනි  ඕවරයේදීම පන්දුව අතට ගත් රංගන හේරත් විසින් බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ලකුණු 11 කට දවාගන්නා ලදි.

ඊයේ සවස් වරුවේ සිටම තම කඩුල්ල ආරක්‍ෂා කරගත් මහේල ජයවර්ධන තම හත්වැනි ටෙස්ට් ද්විත්ව ශතකයේ අවසන් ලකුණු 13 ලබාගත්තේ හයේ පහර දෙකකින් සහ තනි ලකුණකිනි. ලකුණු 190 සිටි මහේල ඉතිරි ලකුණු 13 ලබාගත්තේ නසීර් හොසේන්ගේ  ඕවරයක පන්දු 3 කින් ලකුණු 6ක්, 1ක් සහ 6ක් වශයෙන් ලබාගනිමිනි.

මහේල ලකුණු 134 ක් ලබා සිටියදී පිටියට පිවිසි කිත්රුවන් විතානගේ ඉතා වේගවත් පිතිහරඹයක නිරත වෙමින්තම ශතකය කරා යද්දී මහේල තරමක්  තැන්පත් විලාසයෙන් පිත්ත හසුරුවමින් යොවුන් පිතිකරුවාට අවශ්‍ය ශක්තියවෙමින් අනෙක් අන්තයේ කඩුල්ල රැකගත්තේය.

හතරේ පහර 12 කින් සහ දැවැන්ත හයේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කළ කිත්රුවන් විතානගේ ශතකය ලබාගන්නා විට මහේලගේ ද්විත්ව ශතකයට තවත් ලකුණු 17 ක් අවශ්‍යව තිබිණ. දිනය අවසන් වීමට මත්තෙන් බංග්ලාදේශ පිතිකරුවන් නැවතත් පිටියට කැඳවිය යුතු හෙයින් වහා කි‍්‍රයාකාරී වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයා පන්දු 8 කදී සිය අරමුණ කරා ඇදී ගියේය.

හෝරා හතකට ආසන්න කාලයක් පිටියේ රැඳනු මහේල ජයවර්ධන පන්දු 272 කට මුහුණ දෙමින් හයේ පහර 4 කින් සහ හතරේ පහර 16 කින් සිය ඉනිම අලංකාර කර තිබිණ.

මෙම ද්විත්ව ශතකයත් සමගින් ටෙස්ට් ද්විත්ව ශතක වැඩිම සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයට පත් මහේල අද දිනයේදී කොදෙව් පිතිකරු ෂිව්නරීන් චන්දර්පෝල්ගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාවත් අභිබවා යමින් ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර හයවැනි ස්ථානයට (ලකුණු 11,236) පැමිණියේය.

කඩුලූ රකින කී‍්‍රඩක ප‍්‍රසන්න ජයවර්ධන හදිසියේම ශී‍්‍ර ලංකාවට පැමිණීම නිසා ලද අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත් 22 හැවිරිදි කිත්රුවන් විතානගේ, සිය තුන්වැනි ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගනිමින් තරගයේ ජයග‍්‍රහණය බංග්ලාදේශයට නොපෙනෙන සීමාවකට ඇදගෙන ගියේය. මහේල ජයවර්ධන සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 176 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කිත්රුවන් විතානගේ එයින් ලකුණු 103 කටම සම්මාදම් විය.

මහේල සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව හයවැනි කඩුල්ල සදහා ලකුණු 179 ක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශ පන්දු යවන්නන් වෙහෙසට පත් කළහ.
නායක ඇන්ජලෝ මැතිව්ස් (86) පන්දු 162 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් සිය 14 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබා ගැනීමෙන් පසු මාෂල් අයුබ් අතට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය.

බංග්ලාදේශ වේග පන්දු යවන ක‍්‍රීඩක රොබියුල් ඉස්ලාම් පන්දු යවමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නොගැලෙපෙන ආකාරයට වර්තමාන ලෝක ක‍්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයකු වන මහේල ජයවර්ධනට අවස්ථා කීපයකදීම කිසියම් දෙයක් ප‍්‍රකාශ කරන ආකාරයක් දැකගත හැකිවිය. මේ පිළිබදව විනිසුරුවෝ බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් දැනුවත් කිරීමට පියවර ගත්තේය. මහේල ජයවර්ධන ඒ අවස්ථාවේදී සිය පරිණත බව ප‍්‍රදර්ශනය කරමින් කිසිදු කළබලයකින් තොරව පන්දුවට පහර දුන්නේය.   

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (28) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 375 ක් ලබා ලකුණු 143 ක් ඉදිරියෙන් සිටියේය.

 

ලකුණු පුවරුව


අදහස් (2)

මහේල - කිත්රුවන් බංග්ලාදේශය අසරණ කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.