Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ජොනා ලෝමූ සදහටම සමුගනී

ජොනා ලෝමූ සදහටම සමුගනී

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


නවසීලන්ත රග්බි පිලේ හිටපු විගර් කී‍්‍රඩකයකු මෙන්ම අන්තර්ජාතික රග්බි පිටියේ දැවැන්ත චරිතයක්ව සිටි ජොනා ලොමූ හදිසියේම මෙලොව හැර ගියේය. කලක පටන් දරුණු ආකාරයේ වකුගඩු රෝගයකින් පෙළෙමින් සිටි ජොනා ලොමූ ඊයේ රාති‍්‍රයේ (17 වැනිදා) මිය යන විට යන්තම් 40 හැවිරිදි විය පසුකළා පමණි.

රග්බි කී‍්‍රඩාව කලකට ඉහතදී අන්තර්ජාතික වශයෙන් වැඩි දෙනාගේ අවධානයට ලක් වී නොතිබුණද ලෝක කුසලාන තරග ආරම්භ වීමෙන් පසුව රග්බි කී‍්‍රඩාව එහි නවීන ස්වභාවයට ඇදගෙන ඒම සඳහා විශිෂ්ට මෙහෙයක් කළ කී‍්‍රඩකයකු සේ ජොනා ලොමූ ප‍්‍රකටව සිටියේය.

අඩි 6 අඟල් 5 ක් උසැති ජොනා ලොමූගේ බර රාත්තල් 265 ක් හෙවත් කිලෝ ග‍්‍රෑම් 120 කි. එවන් පාංශූ දේහධාරී කී‍්‍රඩකයකු පන්දුව රැගෙන අධිවේගයෙන් දිව එද්දී ඒ ගමනට හරස් වීමට අයෙක් නොවීය.

මෙවරත් ලෝක කුසලාන රග්බි තරගමාලාවේ දැවැන්ත ප‍්‍රචාරක වැඩසටහන් ගණනාවකට එක්වීමෙන් පසුව සිය බිරිය නදේනි සමග ඩුබායි නුවර නිවාඩුවක් ගත කරමින් සිටි ලොමු නවසීලන්තයේ  ඕක්ලන්ඞ් හී පිහිටි තම නිවහනට සේන්දු වූයේ ඊයේ රාති‍්‍රයේදීය. එහෙත් අද උදෑසන  ඕක්ලන්ඞ් නුවරට අරුණෝදය වැටෙද්දී මේ විශිෂ්ඨ කී‍්‍රඩකයා මෙලොව හැර ගොස් සිටියේය.

රග්බි ලෝකය දැඩි කම්පනයට පත් කළ මේ පුවත නවසීලන්තයේ පමණක් නොව ලොව පුරා රග්බි කී‍්‍රඩාවට ලැදි සැමගේ සිත් සංවේගයෙන් පුරවා දැමීමට සමත්වූ එකකි. සිය සැමියාගේ අකල් වියෝව සම්බන්ධව අද දහවලේ නිවේදනයක් නිකුත් කළ ලොමුගේ ආදරණීය බිරිඳ නදේනි මුහුණු පොතට සිය පවුලේ පින්තූරයක් ද එකතු කළාය.

”ඊයේ රාති‍්‍රයේ මගේ ආදරණීය සැමියා මෙලොව හැරගිය පුවත මෙසේ නිවේදනය කිරීමට සිදුවීම කණගාටුදායක කරුණක්”

”මෙය අපේ පවුල සෝදා පාලූ කළ සිදුවීමක් බව ඔබට වැටෙහෙනවා ඇති.

කෙසේවුවත් මේ අවස්ථාවේදී මා ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ අපේ පෞද්ගලිකත්වය, විශේෂයෙන් අපේ ඉතාමත් ලාබාල පුතුන් දෙදෙනාගේ පෞද්ගලිකත්වය රැකීමට කටයුතු කරන ලෙයසි” යයි ලොමු මහත්මිය ආයාචනා කළාය.

තවමත් 5 හැවිරිදි ඩිරිල් සහ 6 හැවිරිදි බ්‍රේලේ පුතුන් දෙදෙනා සම්බන්ධව ලොමුගේ බිරිඳ මහත් අවධානයෙන් සිටින්නීය.

ලොමු පවුලේ අසල්වාසීයකු පසුව සඳහන් කළ පරිදි අද උදෑසන 11.00 පසුවූ විගස  ඕක්ලන්ඞ් හී එප්සම් ප‍්‍රදේශයේ පිහිටි ලොමුගේ නිවසට ගිලන් රථ දෙකක් සහ පොලිස් ජංගම රථයක් පැමිණ තිබේ.

වසර 1995 අවසාන භාගයේ සිට වකුගඩු ආශි‍්‍රත ආබාධයකින් පෙළෙමින් සිටි ලොමුට ඒ ආබාධය සහිතව සිය කී‍්‍රඩා දිවිය ඉදිරියට රැගෙනයාමට සිදුවී තිබිම ශෝචනීය තත්ත්වයක් විය. වකුගඩු ආබාධයෙන් පෙළෙමින් සිටියදීම රට වෙනුවෙන් සිය වගකිම් කොටස නොපිරිහෙලා ඉටු කළ හෙතෙම 1999 ලෝක කුසලාන රග්බි තරගමාලාවේ උත්සාහක දිනුම් 8 ක්ම තබමින් එක් තරගාමාලාවකදී වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබීමේ ගෞරවයත්, වාර්තාවත් දිනා ගත්තේය.

ඒ වාර්තාවත් සමග 1995 වසරේ තරගාමාලාවේ උත්සාහක දිනුම් 7 ක් තැබීමෙන් සිය ලකුණු මල්ල තරකර ගත් මේ වි`ගර් කී‍්‍රඩකයා එදා මෙදා තුර ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් තැබීමේ වාර්තාවත් අත්කර ගත්තේය. එහෙත් මේ අසහාය කී‍්‍රඩකයාට තවත් වාර්තා රැසක් තැබිමේ වාසනාව අහිමිවි ගියේ වකුගඩු රෝගය වරින් වර උත්සන්න වීම හේතුවෙන් කී‍්‍රඩාවට සමුදීමට සිදුවීමෙනි.

ඉන් අනතුරුව රග්බි පන්දුව අතහැර වකුගඩු රෝගය සමග පොර බදින්නට පටන් ගත් හෙතෙම 2004 දී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට භාජනය වූයේ තවදුරටත් ජිවත්වීමට ඇති බලාපොරොත්තු ඉහළ දමාගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් වසර ගණනාවක් පුරා ඔහු පසුපස හඹා ආ අවාසනාව ඔහුගේ ඒ බලාපොරොත්තු ඉටු කරගැනීමට ඉඩ තැබුවේ නැත. 2011 දී ලොමුට බද්ධ කළ වකුගඩුව අකි‍්‍රයවීමෙන් ඔහු තවදුරටත් පීඩාවට පත්විය.

කායිකව දැඩි පිරිහීමට පත්ව සිටියත් මේ සියලූ දුෂ්කරතා විඳදරාගැනීමට තරම් දැඩි මානසික ශක්තියකින් හෙබි ලොමු ඊළග වසර කිහිපය පුරා රග්බි කී‍්‍රඩාවට සම්බන්ධ විවිධ කි‍්‍රයාකාරකම් සහ ප‍්‍රචාරණ  වැඩසටහන්වලට සම්බන්ධවූයේ තවදුරටත් කී‍්‍රඩාවට ඇති ඇල්ම නිසාය.

ලොමුගේ මරණය ගැන දැනගත් විගස ඕල්බ්ලැක්ස් පිලේ හිටපු වෛද්‍ය ජෝන් මැතිව් කියා සිටියේ ලොමුගේ මරණය විස්මිත කම්පනයක් ඇති කළ එකක් බවය.

මන්ද ඔහු පසුගිය මාස කිහිපය පුරා ඉතා හොඳ ශාරිරික සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බැවිනි.

කී‍්‍රඩා කළ කාලයේ දී රග්බි ලෝක කුසලානයක ජයපැන් බීමේ වාසනාවක් ජොනා ලොමූට නොතිබුණේ 1995 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී දකුණු අපි‍්‍රකානුවන් හමුවේ නවසීලන්තය පරාජය වීම නිසාය. එහෙත් ජීවිතයෙන් සමුගැනීමට පෙර පිට පිට දෙවතාවක්ම නවසීලන්ත පිල රග්බි ලෝක කුසලානය අත්පත් කරගැනීම දැකබලාගැනීමට ඔහුට වාසනාව තිබිණි. පසුගිය මාසයේදී ලන්ඩන් නුවරදී නවසීලන්ත පිල රග්බි ලෝක කුසලාන දිනාගත්තේ පිට පිටම දෙවැනි වතාවටය.

ලොමුගේ මරණය සැළවූ වහාම ඔහුගේ නිවසට පැමිණි ඕක්ලන්ඞ් හී නගරාධිපති ලෙන් බ‍්‍රවුන් ලොමු  ඕක්ලන්ඞ් හී ශ්‍රේෂ්ඨ පුත‍්‍රයකු බැව් කියා සිටියේය. නවසීලන්ත අගමැති ජෝන් කී ද මේ ශ්‍රේෂ්ඨ නවසීලන්ත පුත‍්‍රයා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබිණි.

හැඩි දැඩි සිරුරකට හිමිකම් කීවත් මේ සොඳුරු මිනිසාට තිබුණේ ඉතා සංවේදි සිතකි. ඕනෑම තැනක ආදරය බෙදා හදාගැනීමට තරම් මිනිසුන් ඔහුට සිටියේය. සිය පුතුන් දෙදෙනා තවමත් කුඩා වියේ පසුවූ බැවින් ලොමුට අහස උසට බලාපොරොත්තු තිබිණි.

”මගේ ඉලක්කය පුතුන් දෙන්නා අවුරුදු 21 වනතුරුවත් ඉන්නයි”

”ඒ ගැන කිසිම සහතිකයක් නැති බව මං දන්නවා. ඒත් ඒක තමයි මගේ අරමුණ.  ඕනෑම තාත්තා කෙනෙක් ආසයි එහෙම වෙන්න” යයි ලෝමූ කියා තිබිණ.

”මගේ තාත්තා අපව හැරගියේ ඉතා තරුණ වියේදිමයි. ඒක මගේ හිතට දැඩිව බලපෑවා. මට  ඕනා මගේ කොල්ලො දෙන්නා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් යටතේ අවුරුදු 21 දක්වා වැඩෙනවා බලා ඉන්නයි.” පසුගිය අගෝස්තු මාසයේදී මේ ශ්‍රේෂ්ඨ මිනිසා එංගලන්තයේ ඬේලි මේල් පුවත්පතට එසේ කීවේය. එය කෙතරම් සංවේදි හා වේදනාත්මක ප‍්‍රකාශයක් දැයි අද ඔහුගේ මරණයත් සමග කල්පනා කරද්දී සිතේ.

ඔහු සිය රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටියත් මානසිකව ශක්තිමත්ව සිටියේය. ඔහු බලාපොරොත්තු අතහැර ගැනීමට අකැමතිවිය.

”මේ රෝගී තත්ත්වයත් එක්ක හැප්පෙන්න බෑ....කරන්න තියෙන එකම දේ ධනාත්මකව කල්පනා කරමින් සැහැල්ලූවෙන් ජීවත්වීමයි”

”මම කැඩපත ළගට යන හැම මොහොතකම මට ඉන් පෙනෙන්නේ මගේ පුතුන් දෙදෙනාවයි. එයාලා තමයි මගේ ජීවිතය.... හැමදාම උදේට කැඩපත ළගට ගිහින් මම කල්පනා කරන්නේ අද මොනවද කරන්නේ කියලා. එතකොට මට මතක් වෙන්නේ මගෙ කොල්ලෝ දෙන්නයි” ලොමූ වරක් කියා තිබිණ.

”දැන් ඉතින් කල්පනා කළා ඇති. ඔබට කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. නැගී සිටින්න...ඔබට පුලූවන් ආකාරයට හොඳ තාත්තා කෙනෙක් වෙන්න” ජොනා ලොමූ කී වතාවක් නම් කැඩපත හමුවේ එසේ කියන්නට ඇද්ද?

නවසීලන්තය වෙනුවෙන් රග්බි ටෙස්ට් තරග 73 කට සහභාගි වී උත්සාහක දිනුම් 43 ක් තබා ඇති මේ සුපිරි කී‍්‍රඩකයා සිය දරුවන්ට පණටත් වඩා ආදරය කළ පියෙකි.

ලොව බිහිවූ වේගවත්ම කී‍්‍රඩකයකු ලෙස සිය ජවසම්පන සිරුරෙන් ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන් මෙල්ල කරගැනීමට ඔහුට ගතවූයේ තත්පර ගණනාවක් පමණි. එහෙත් වසර ගණනාවක් පුරා මාරයා සමග පොර බැඳි හෙතෙම අවසානයේ දී පරාජයට පත්වුයේ ආදරණිය පුතුන් දෙදෙනාට ලොව හොඳම තාත්තා කෙනකුගේ සෙනෙහස සදහටමට අහිමිකර දමමිනි.

 


අදහස් (0)

ජොනා ලෝමූ සදහටම සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.