Last Update  :  2024-05-17 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ගර්බින් බාධකය බිඳීමට සෙරීනා සැරසේ

ගර්බින් බාධකය බිඳීමට සෙරීනා සැරසේ

ශනුක අරවින්ද - 2015 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විම්බල්ඩන් ටෙනිස් ශූරතාවලියේ ශ‍්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6.30ට පැවැත්වෙන කාන්තා කේවල අවසන් මහා තරගයට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. තරගය පැවැත්වෙන්නේ මේ  ශූරතාවට පස් වතාවක්ම හිමිකම් කී අංක එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස් සහ ටෙනිස් පිටියේ වැඩිපුර කතාබහට ලක් නොවූ ස්පාඤ්ඤයේ ගර්බින් මුගුරුසා අතරය.

සෙරීනා ගැන  ඕනෑතරම් අසා ඇති බැවින් කාගෙත් නෙත් සිත් යොමුවී ඇත්තේ මේ පැරැණිතම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වූ 21 හැවිරිදි පෙරළිකාර කී‍්‍රඩිකාව කෙරෙහිය. වැඩිපුරම කතා වන්නේ ද ඇය ගැනය.

දැනට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 20 වැනි තැන සිටින ඇය මෙවර විම්බල්ඩන් තරගාවලියේ විස්මිත දස්කම් පෑ නිසා අවසන් මහා තරගයේ දී සෙරීනා හා තරග වදින්නට ඇය තරම් සුදුස්සකු නැතැයිද විචාරකයෝ කියති.

අවසන් මහා තරගය දක්වා පැමිණි ගමන්මගේ දී ඇය වෙතින් පරාජයට පත්වූයේ එසේ මෙසේ කී‍්‍රඩිකාවන් නොවිය.  ඇය ඇන්ජලිකා කේබර් (10 ස්ථානය), කැරොලින් වොස්නියැකි (5 ස්ථානය), ටිමියා බැක්සින්සිකි (15 ස්ථානය) පරාජය කළ අතර  පෙරේදා අවසන් පූර්ව තරගයේ දී ඇය වෙතින් පරාජයට පත්වූයේ 2012 වසරේ විම්බල්ඩන් අනුශූරතාව දිනූ ඇග්නීස්කා රැඞ්වන්ස්කා (13 ස්ථානය) ය.

මෙවැනි තරතීරමේ තරගාවලියක අවසන් මහා තරගයට ඇය එක්වූයේ මුල්වරටය. ඊට පෙර ඇය පසුගිය වාර දෙකකදී ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණියාය. එබැවින් අද තරගය සෙරීනාට වඩා ගර්බින්ට වැඩි තිගැස්මක් ඇති කරවන්නකි.

සිය 21 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ හඹායන 33 හැවිිරිදි සෙරීනා වාර්ෂිකව පැවැත්වෙන ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතරම දිනාගැනීමේ විරල වාර්තාව අබියස සිටින්නීය. ඇය දැනටමත් ඔස්ටේ‍්‍රලියානු විවෘත හා ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතා දිනා සිටින්නිය. අද පස්වරු ඇයට සිය ශූරතා ගොන්න තවත් පුරවා ගැනීමට ඇති එකම බාධකය ගර්බින් පමණි. එය ඉවත් කිරීමට සමත්වුවහොත් ඇයට සම්පූර්ණ කළයුතු වන්නේ ලබන මාසයේ සිය මවුබිමේදී පැවැත්වෙන අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව පමණි.

මෙම තත්ත්වය නිසා බොහෝ විචාරකයන් මෙය හඳුන්වනු ලබන්නේ ‘සෙරීනා ස්ලෑම්‘ යනුවෙනි.

එහෙත් ඇය ඊට කැමැති නැත. මාධ්‍යවේදීන්ගෙන් ඇය ඉල්ලා සිටින්නේ එසේ නොකියන ලෙසය.

”මට කවදාවත් එවැනි ඉලක්කයක් තිබුණේ නෑ. නමුත් දැන් ඒ ඉලක්කයට මං ළ`ගාවෙලා. ඒ ගැන ප‍්‍රසිද්ධිය ලැබෙන්න ලැබෙන්න මගේ ආසාව වැඩිවෙනවා. ඒ නිසා මං කැමැති නෑ එය සෙරීනා ස්ලෑම් විදිහට හඳුන්වනවාට”.. යයි ඇය එසේ කියන්නීය.

ලොව වැඩිම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා ප‍්‍රමාණයක් දිනා සිටින කී‍්‍රඩිකාවන් අතර දෙවැනි තැන පසුවන්නේ ස්ටෙෆී ග‍්‍රාෆ්ය. සෙරීනාට ඇය සම කිරීමට අවශ්‍යවී ඇත්තේ තවත් කුසලාන දෙකක් පමණි.

මෙවර තරගමාලාවේ මූලික වටයේ සිට අවසන් මහා තරගය දක්වා ගර්බින් රචනා කරමින් පැමිණි සුරංගනා කතාවට නැවතීමේ තිත තැබීමට සෙරීනාට හැකිවුවහොත් අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේදි ඇය ඒ වාර්තාව සමකරනු ඒකාන්තය.

එය කෙසේවූවද කෝඩුකාර ගර්බින් අද තරගය ගැන පසුවන්නේ සෑහෙන්න විශ්වාසයකින් යුතුවය. ඇය පසුගිය වසරේ පැවැති ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ දී සෙරීනාට අමතක නොවන පරාජයක් උරුම කරදුන් කී‍්‍රඩිකාව බව සැවොම දනිති.

”ආ....ඔව්...මම ගිය අවුරුද්දේ ඇයට පරාජය වුණා” සෙරීනා එසේ කියයි.

”ඒක මගේ ඇස් ඇරවපු පරාජයක්. සමහර පැරදීම්වලින් අපි කේන්ති ගන්නවා. තවත් සමහර ඒවාවලින් අපිට සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුළුවනි.... ඒ පරාජයෙන් මමත් ඒ වගේ සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා”

”මං හිතන්නේ ඒ පරාජයෙන් පස්සේ මම ගොඩක් ඉහළ දස්කම් දැක්වීමට පටන් ගත්තා. ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක මම කාටවත් පරදින්න කැමැති කෙනෙක් නෙවෙයි. ඒත් එදා මට පරදින්න සිදුවුණා. ඒ අත්දැකීම මට ඇත්තටම ආපහු නැගී සිටින්නට උපකාරී වුණා” යයි සෙරීනා පවසයි.

නිසැකවම ‘ ඕල් ඉංග්ලන්ඞ්’ ටෙනිස් සමාජ කී‍්‍රඩා පිටියේ සිය 6 වැනි විම්බල්ඩන් කිරුළ දිනාගැනීම තරම් තවත් දෙයක් සෙරීනා විලියම්ස්ට නොමැත. එහෙත් ඇය නම් කියන්නේ දැනටමත් විම්බල්ඩන් හී පොහොසත් ඉතිහාසයකට හිමිකම් කියන ඇයට ඒ ගැන කිසිදු පීඩනයක් නොමැති බවකි.

”මම ඉන්නේ තවත් විම්බල්ඩන් ශූරතාවක් දිනාගන්න අවශ්‍ය නැති පසුබිමකයි.

නමුත් අද මගේ පරාජය දැකීම මට සතුටක් නොවේ. ඒත් මට තව විම්බල්ඩන් ශූරතාවක්  ඕන නෑ. මට තවත් අමෙරිකානු විවෘත ශූරතාවක්  ඕන නෑ. මම හැමදාම ටෙනිස් තරග පිටියට හෝ පුහුණුවීමේ පිටියට යන්නේ විනෝදාස්වාදය සඳහායි. ඒක නිසා මට කිසිම පීඩනයක් නෑ” ඇය කියන්නේ අමුතුම කතාවකි.

මේ අතර අද තරගයේ වැඩි අවධානයක් යොමුවී ඇති කෝඩුකාරිය වන ගර්බින් නම් කියන්නේ ඇයට සෙරීනා පරාජය කිරීමට තරම් විශ්වාසනීයත්වයක් ඇති බවකි.

”සෙරීනා දන්නවා මට ඇයව පරද්දන්න පුළුවන් බව. ඒ නිසා මට කිසිම බයක් නෑ.”

සෙරීනා හා ගර්බින් අද මුණ ගැසෙන්නේ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක සිවුවැනි වතාවටය. මීට පෙර 2013 හා මේ වසරේ ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී සෙරීනා හමුවේ ගර්බින් පරාජයට පත්වූවාය. ඒ අනුව දෙදෙනා අතර පැවැති තරගවලින් 2-1 කින් ඉදිරියෙන් සිටින්නේ සෙරීනාය.

ඊයේ එංගලන්ත පුවත්පත්වල විම්බල්ඩන් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගය අරභයා පළවී තිබූ විවිධ ලිපි රැුසකි. එක්තරා ලිපියක ගර්බින් හඳුන්වාදී තිබුණේ විම්බල්ඩන් ටෙනිස් ඉතිහාසය හා සෙරීනා විලියම්ස් මැද සිටින ගැහැණිය යනුවෙනි. වෙනියුසියුලාවේ මවකට හා ස්පාඤ්ඤ පියකුට දාව උපන් මේ  යුවතිය සිය මංගල ග‍්‍රෑන්ඞ් ස්ලෑම් අවසන් මහා තරගයට එක්වන්නේ සෙරීනා විලියම්ස් සමග වීමත් ඇය ලද එක්තරා අන්දමක ජයග‍්‍රහණයක් බව තවත් ලිපියක කියා තිබිණි.

ඊයේ ඇය නිදහසේ සිය විවේකය භුක්ති වින්දාය. ඒ මොහොතේ මාධ්‍යවේදියකු ඇගෙන් විමසුවේ අවසන් මහා තරගය නැරැුඹීමට ඇගේ මවුපියන් පැමිණෙන්නේදැයි කියාය. ඔහු එසේ ඇසුවේ ඇය තරග වැදුණු අවසන් පූර්ව තරගය නැරැුඹිමට ලන්ඩනයට පැමිණීමට ආසාවෙන් සිටි ඇගේ වෙනියුසියුලා ජාතික මවට හා ස්පාඤ්ඤ පියාට ඇය විසින් එය තහනම් කරනු ලැබීම නිසාය.

”ඔවුන් මගේ තරගය බැලූවේ බාසිලෝනියාවේ ඉඳන්” ඇය කියන්නීය.

”මීට දවස් දෙකකට කළින් එයාලා මට කිව්වා එයාලට ලන්ඩන් එන්න  ඕනේ කියලා. මං කිව්වා එපා කියලා. ඔයාලා ආවත් නාවත් මම හැමදාම මගේ පුරුදු වැඩ ටික කරගෙන ඉන්නවා කියලා. ඒක වෙනස් වෙන්නෙ නෑ කියලා”

”මොකද මම දත් මදින්නේ මගේම අතිනුයි. මම ඇඳෙන් බිමට බහින්නේ මගේම කකුල් දෙකෙනුයි. එයාලා ආවා කියලා ඒක වෙනස් වෙන්නේ නෑ. ඒ වගේ තමයි තරගයත්”...ගර්බින් කියයි. එහෙත් දාරක ස්නේහය ක-ුමක්ද යන්නත්, දාරක ස්නේහයේ ආඩම්බරය කවරාකාර වේද යන්නත් ගර්බින් තවම නොදනී. එය දැනගත් දාට ගර්බින් වඩාත් කණගාටු වනු නිසැකය.

 


අදහස් (0)

ගර්බින් බාධකය බිඳීමට සෙරීනා සැරසේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.