Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 අසේල ගුණරත්න වචනය තියයි

අසේල ගුණරත්න වචනය තියයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිස කසමින් නැතහොත් නියපොතු හපමින් විපිළිසරව ගෙවූ දින පහක් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් තරගය ජයගත්හ. පොදු ප්‍රේක්‍ෂකයා සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දොරටු විවරව තිබුණ නමුත් වරෙක හිස අත් බදාගනිමින් හෝ අත්පොළසන් දීමටත් තරගය නැරඹීමට පැමිණ සිටියේ 500 කටත් අඩු පිරිසකි.

සිම්බාබ්වේ පිලට එරෙහිව ලබාගත් නමුත් එය වාර්තාගත ජයකි. වසර 140 ක ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් සාර්ථකව හඹාගිය ඉහළම ඉලක්ක අතරේ පස්වැනි ස්ථනය මෙම ලකුණු 388 ට හිමිවේ. එපමණක් නොව එය ටෙස්ට් කණ්ඩායමක් ආසියාවේදී කළ සාර්ථකම හඹා යාමද වෙයි.

කරුණු මෙසේ හෙයින් සිම්බාබ්වේ පිල හමුවේ ලද ජයග්‍රහණය කිසි සේත්ම සුළුවෙන් තැකිය නොහැකිය. ඇරත් එය එසේ නොවුණා නම් ඇතිවන තත්ත්වයට මුහුණ දීම කාට කාටත් අපහසු වනු ඇත. (ශ්‍රී ලංකාව ඇතුළේම ජීවත් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන තුරු බලා සිටි අයත් නැතුවා නොවේ)

දික්වැල්ල ලකුණු 37 ක් ලබා සිටිදී ස්ටම්ප් කිරීමකට හසුවන්නට ගිය අවස්ථාවේදී තුන්වැනි විනිසුරු චෙට්ටිතෝඩි ෂම්සුඩීන් මහතාගේ තීරණය අනෙක් අතට ගියේ නම් විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් බලවත් සේ අපහසුතාවට පත්වන බව නිසැකය. එය වාසනාවම මිස අනෙකක් නොවේ.

මේ කරුණු සියල්ලම සලකා බලන කල්හි සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සතු අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් රංගන හේරත්, නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න ප්‍රමුථ ශ්‍රී ලංකා කණ්ඩායමට කාගෙ කාගේත් ප්‍රශංසාව හිමිවිය යුතුමය.

“මේ තරගය ජයගන්න සිම්බාබ්වේ කණ්ඩායම විශාල වෙහෙසක් ගත්තා. තරගය ජයගන්න අපට ලෙහෙසි වුණේ නෑ” යයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් තරගයෙන් අනතුරුව පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවා ආහාරයෙන් පසුව සිය දෙවැනි ඉනිම සඳහා පිති අතට ගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කතාබහ කරමින් සිටියේ පිතිකරුවන් වශයෙන් තම තමන්ටම ආවේණික ක්‍රීඩාවේ නිරත වීම පිළිබඳවය.

“මේ තරගයේ ඉතිරිවෙලා තිබුණ කාලය (ඕවර 138 ක්) අනුව සම්පූර්ණ කාලයම පන්දුවට පහර දෙන්න ගිහින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න අමාරුයි කියලා අපි දැනගෙන හිටියා....එහෙම කළා නම් අපි තරගය පරදින්න තිබුණා”

“මම ක්‍රීඩකයන්ට කිව්වේ කොතැන හරි වැරැද්දක් වුණොත් නායකයෙක් හැටියට මම වගකීම බාරගන්නම්. ඒ නිසා බය නැතිව අවදානම අරගෙන තමන්ගේ ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න කියලයි” යයි චන්දිමාල් පැවසීය.  
ශ්‍රී ලංකා කණ්ඩායම කලක සිටම සොයමින් සිටියේ මෙම ජයග්‍රහණයයි.

මේ වසර මුලදී දකුණු අප්‍රිකාව හමුවේ 3-0 කින් ටෙස්ට් තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව තරගාවලියට පිවිසියේ ජයග්‍රහණය මිට මොළවාගන්නා සිතිනි. ගාල්ලේදී පැවැති පළමු තරගය ජයගත්තත් නොසිතූ ලෙසින් දෙවැනි තරගය පරාජය වීම නිසා තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අහිමි විය. එවන් තත්ත්වයකදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ලබාගත් ජයග්‍රහණය කණ්ඩායම ඉදිරියට ගෙන යාම සඳහා නව නායක දිනේෂ් චන්දිමාල්ට හොඳ තල්ලුවකි.

ලකුණු 388 හඹා යාමේදී වැඩිම පන්දු යවන්නාගේ හිසට ඉහළින් ඇන්ජලෝ මැතිව්ස් ගැසූ හයේ පහර හැරෙන්නට අනෙක් ලකුණු වැඩි ප්‍රමාණයක් පැමිණියේ තණතීරුවේ දෙපැත්තෙනි. ඒ සඳහා ‘කට්’, පුල්, ස්වීප් මෙන්ම ‘රිවර්ස් ස්වීප්’ පහරද වැඩි වශයෙන් යොදාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවිය.

මෙම පහර අතරේ රිවර්ස් ස්වීප් පහර මහත් අවදානම් සහගත පහරකි. වසර 30 ක පමණ ඉතිහාසයක් ඇති මෙම පහර මුලින්ම කරළියට පැමිණියේ 1987 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී මයික් ගැටිංගෙනි. එදා ලෝක කුසලන අවසන් මහ තරගයේදී ලකුණු 254 ක් හඹා යමින් සිටි එංගලන්ත නායකයා ගැසූ රිවර්ස් ස්වීප් පහර නිසා කඩුලු රැකි ග්‍රෙග් ඩයර්ට උඩපන්දුවක් ලැබීමෙන් ලකුණු 41 කට දැවී ගියේය. එංගලන්තයට අත පොවන මානයේ තිබූ ලෝක කුසලානය ඇලන් බෝඩර් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවෝ රැගෙන ගියහ.

එහෙත් රිවර්ස් ස්වීප් පහරම ප්‍රයෝජනයට ගනිමින් වසර දෙකකට ඉහත ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයක් තනි අතින් කණපිට පෙරළුෑ චන්දිමාල් අවදානම ගැනීමට බිය නොවීය.

“අපි ඉලක්කයක් හඹා යනවා නම් ඒ වගේ පහරවල් ගහන්න ඕනේ. ඒකේ අවදානමක් තියෙනවා තමයි. ඒත් මේ වගේ තණතීරු වලදී ඒවා අවශ්‍ය වෙනවා. අපි ඒවා පුහුණුවෙනවා. ඒවායේ ප්‍රතිඵල තියෙනවා” යයිද චන්දිමාල් පැවසීය.

අසේල ගුණරත්න පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින බව කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා කීවේ පළමු ඉනිමේදී ඔහු පන්දුවට පහර දීමට ඒමටත් කලිනි. එහෙත් තරගයේ අවසානය දක්වාම කඩුල්ලේ රැඳී සිටිමින් තරගයේ වීරයා වූ අසේල දිවගිය ආකාරයෙන් නම් ඒ බවක් නොපෙනිණ.

“ඒක ලොකු ආබාධයක් නෙමේ. ඒත් මගේ කලව පසුපස මස්පිඬුව ටිකක් තදයි වගේ දැණුනා. ඒක ඉරිලා නෑ. ඒ නිසා ඒකට ප්ලාස්ටර් දමාගෙන පන්දුවට පහර දෙන්න මම සූදානමින් හිටියේ” යයි අසේල පැවසීය.

මෙම ආබාධය නිසා අසේලට පන්දු යැවීමට නොහැකි වීම ශ්‍රී ලංකා පිලට බලවත් පාඩුවක් වුවද අසේලගේ අරමුණ වූයේ සිම්බාබ්වේ දෙවැනි ඉනිමේදී හොඳ විවේකයක් ලබමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමයි. ඒ ගැන නායක චන්දිමාල් කීවේ මෙවන් කතාවකි.

“මම අද උදේ අසේලට කිව්වා ‘ඔයා අද 100 ක් ගහන්නයි යන්නේ’ කියලා” ඒත් ඒ එක්කම අසේල මහත් විශ්වාසයෙන් මට මෙහෙම කිව්වා”

“‘නෑ චන්දි, මට සීයක් ගහන්න වෙන එකක් නෑ. ඒත් මම 70 ක් ගහලා තරගය දිනලා දෙන්නම්’ කියලා....මගේ ක්‍රීඩකයන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ ආත්ම විශ්වාසයක්”

“සමහර විට අද ඔහුට ඒ දේ කරන්න බැරිවුණා වෙන්නත් පුළුවන්. ඒත් එයා කතා කරපු විලාසයෙන් මේ තරගය දිනන්න පුළුවන් කියලා නායකයෙක් හැටියට මටත් විශ්වාසනීයත්වයක් ඇතිවුණා...මේවා හොඳ දේවල්...ඒ වගේ ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටින එක මට විශාල සතුටක්” යයි චන්දිමාල් තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

අසේල ගුණරත්න යනු තරගයක් අවසන් කිරීමට කදිම ක්‍රීඩකයෙකි. මෙම තරගයේදී පමණක් නොව, එක්දින තරග මෙන්ම විස්සයි-20 තරග කිහිපයකදීම ඔහු ඒ බව කදිමට පෙන්නුම් කර තිබේ. හමුදා පුහුණුව ලබා ඇති හෙයින්දෝ, අස්ථි පුපුරා යන තරමේ පීඩනයකදී වුවත් හිස කෙළින් තබාගෙන අවස්ථාවට මුහුණ දීමේ හැකියාව අසේලට තිබේ.

එහෙත් නිරෝෂන් දික්වැල්ල ඊට තරමක් වෙනස් ක්‍රීඩකයෙකි. පන්දුව දුටු තැන පහර දීමට පෙළඹෙන දික්වැල්ල අද සිය සහායක පිතිකරු අසේලට කියා ඇත්තේ “මේ..මේ...නිතරම මට කතා කරන්න...කතා කරලා මට කියලා ලකුණු ගස්සවාගන්න” කියාය.

“මා හිතන්නේ මීට පෙර විශාල ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරලා නැති නිසා එයාට එහෙම හිතෙන්න ඇති. එයා බලාපොරොත්තු වුණේ නිතරම තරගයේ තත්ත්වය ගැන මගෙන් උපදෙස් ගන්නයි”

“තරගයේ එක එක අවස්ථාවලදී යම් යම් පහරවල් වලට යන්න එපා කියලා මමත් එයාට කිව්වා” යයිද අසේල ගුණරත්න පැවසීය.

අවසානයේදි සියල්ල යහපත් ප්‍රතිඵලයකට පෙරළිණ. පැය දෙක හමාරක් පුරා පිටියේ රැඳුනු දික්වැල්ල ලකුණු 81 ක් ලබාගත්තා පමණක් නොව අසේල සමග ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ජයග්‍රහණයේ පදනම දැමීය.

ඒ කෙසේ වෙතත් වඩාත් වටින්නේ තරගයේ ජයග්‍රහණයම නොම ක්‍රීඩකයන් එකිනෙකා අතර පවතින අනෝන්‍ය විශ්වාසය සහ අවබෝධයයි. මක්නිසාද යත් හෙට තරගයේ ජයග්‍රහණයට පදනම දමන්නේ එය බැවිනි.
 

 


අදහස් (0)

අසේල ගුණරත්න වචනය තියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.