Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශ්‍රී ලංකාවේ පළමු තරගය ලාඕසයට එරෙහිව

ශ්‍රී ලංකාවේ පළමු තරගය ලාඕසයට එරෙහිව

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලයාසියාවේ ‘කූබින්ග්’ නුවරදී ආරම්භ වූ ආසියානු පාපන්දු සම්මේලන සහයෝගිතා පාපන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව හෙට (3 වැනිදා) ලාඕසයට එරෙහිව සිය පළමු තරගයට සහභාගිවීමට නියමිතය.

අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට (194) වඩා ඉදිරියෙන් පසුවන ලාඕසය (175) සහ ශ්‍රී ලංකාවට අවසන් වරට තරග කළේ 2013 මාර්තු 4 වැනිදාය. එම අවස්ථාවේදී ගෝල 4-2 කින් එම තරගය ජය ගැනීමට ලාඕසය සමත්ව තිබේ.

මෙම තරගය පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩඞ්ලි ස්ටේන්වෝල් මහතා අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් පසුවන ලාඕසය පරාජය කිරීම ශ්‍රී ලංකාවට සැබැවින්ම අභියෝගයක් වන බව පැවසීය.

“සංඛ්‍යා ලේඛන, දත්ත ගැන හිත හිත ඉඳලා වැඩක් නෑ. හැම ජාත්‍යන්තර පාපන්දු තරගයක්ම ශ්‍රී ලංකාවට අභියෝගයක්”

“අපි ලාඕසය සමග තරගය පරාජය වුණොත් අපට තරගාවලියේ ඉදිරියට යන්න නම් ඉතිරි තරග දෙකම ජය ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මේ තරගයේ ප්‍රතිඵලයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අපට අවබෝධයක් ලබාගන්න පුළුවන්” යයිද ස්වෙන්වෝල් මහතා පැවසීය.

 සම්පත් පෙරේරා මහතාගේ ඉවත්වීමෙන් පසුව පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකා පාපන්දු පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරය දරන ස්ටේන්වෝල් මහතා පවසන්නේ තමා එම ධුරයට පත්වීමෙන් පසුව මෙතෙක් ශ්‍රී ලංකා පිල මුහුණ දී ඇත්තේ එකම ජාත්‍යන්තර  තරගයකට පමණක් බවයි.

 එය ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් බවත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ දියුණුවට වැඩි වැඩියෙන් ජාත්‍යන්තර තරග අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.

 ඩඞ්ලි ස්ටේන්වෝල් මහතා වසර 5 ක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරා තිබේ. වසර 2007 සිට 2012 දක්වා ඔහු එහි නායකත්වයද දැරීය. ඔහු රිනවුන්, සෝන්ඩර්ස්, මීගමුව යූත් හා රත්නම් යන දේශීය තරග බිමේ ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජයි. මෑතකදී ආසියානු පාපන්දු සමුළුව මෙහෙය වූ ‘ඒ’ ශ්‍රේණියේ පාපන්දු පුහුණුකරු පාඨමාලාව අංක එකට සමත්වීමට ඔහු සමත්ව සිටීම කැපී පෙනේ.

 මාලදිවයින් ජාතික පාපන්දු පුහුණුකරු එහි දෙවැනි තැන ලබා තිබේ. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කරන්නේ මහින්ද ගලගෙදර (දැල් රකින්නන්ගේ පුහුණුකරු) හා දේවනායගම් රාජයානි යන මහත්වරුන්ය.

 පසුගිය වසර දෙකකදී ශ්‍රී ලංකාව සහභාගි වූ අන්තර්ජාතික පාපන්දු තරග 7 ම පරාජය වී තිබේ. එම තරග 7 දී ශ්‍රී ලංකා පිලට එරෙහිව ගෝල 19 ක් වාර්තා වී ඇති අතර තරග 7 දීම ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ඇත්තේ ගෝල 3 ක් පමණි.


පසුගිය වසර දෙකකදී ශ්‍රී ලංකාව සහභාගි වූ අන්තර්ජාතික පාපන්දු තරග වලදී ලබාගත් ප්‍රතිඵල මෙසේය.

■    භූතානයට එරෙහිව ගෝල 2-1 ක පරාජයක් (2015)
■    නේපාලයට එරෙහිව ගෝල 1-0 ක ජයක් (2015)
■    ඉන්දියාවට එරෙහිව ගෝල 2-0 ක පරාජයක් (2015)
■    ඇෆ්ගනිස්ථානයට එරෙහිව ගෝල 5-0 ක පරාජයක් (2015)
■    බංග්ලාදේශයට එරෙහිව ගෝල 4-2 ක පරාජයක් (2016)
■    නේපාලයට එරෙහිව ගෝල 1-0 ක පරාජයක් (2016)
■    කාම්බෝජයට එරෙහිව ගෝල 4-0 ක පරාජයක් (2016)


 මෙම වසරේදී (2016) මේ දක්වා ලාඕසය ජාත්‍යන්තර පාපන්දු තරගවලදී ලබාගත් ප්‍රතිඵල මෙසේය.

■    ඉන්දියාවට එරෙහිව ගෝල 6-1 ක පරාජයක්
■    සෞදි අරාබියට එරෙහිව ගෝල 4-0 ක පරාජයක්
■    මාලදිවයිනට එරෙහිව ගෝල 4-0 ක පරාජයක්
■    මාලදිවයිනට එරෙහිව විසඳුම් රහිතයි (1-1)
■    කාම්බෝජයට එරෙහිව ගෝල 2-1 ක පරාජයක්
■    ටිමෝරයට එරෙහිව ගෝල 2-1 ක ජයක්
■    බෲනායි දේශයට එරෙහිව ගෝල 4-3 ක ජයක්

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ පළමු තරගය ලාඕසයට එරෙහිව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.