Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශ්‍රී ලංකාවට ගෝල 2-1 ක පරාජයක්

ශ්‍රී ලංකාවට ගෝල 2-1 ක පරාජයක්

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලයාසියාවේ කූමින්ග් නගරයේදී ආරම්භ වූ ආසියානු සමුළු සහයෝගිතා පාපන්දු තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේදී ශ්‍රී ලංකාව ලාඕසය හමුවේ ගෝල 2-1 ක පරාජයක් ලැබීය. කූමින්ග් නුවර නෙගාරි සරවාක් ක්‍රීඩාංගණයේ දී අද (3 වැනිදා) පැවැති මෙම තරගයේ නියමිත කාලය අවසන් වීමෙන් පසු පිරිනැමුණු අතිරේක කාලයේදී (91 වැනි මිනිත්තුවේදී) ලබාගත් අනපේක්ෂිත ගෝලය නිසා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නිලකුණු තත්ත්වයෙන් ගැලවිණ.


තරගයේ අවසානය සටහන් වීමෙන් පසුව ප්‍රදානය කෙරුණු අතිරේක විනාඩියේදී කෝණ පහරක් මගින් ජොහාර් සර්වාන් පිරිනැමූ පන්දුව විශ්මිත ලෙස ගෝලයක් බවට පත් කරන ලද්දේ ප්‍රහාරක ක්‍රීඩක මොහොමඞ් රහුමාන් විසිනි.


ශ්‍රී ලංකාව සහ ලාඕසය ජාත්‍යන්තර පාපන්දු තරගයකදී මුණගැසුණේ වසර තුනකට පසුවය. අවසන් වරට වසර 2013 මාර්තු මාසයේ මෙම දෙරට මුණගැසුණු ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ශ්‍රී ලංකාව ගෝල 4-2 ක් ලෙස ලාඕසය හමුවේ පරාජයට පත්ව තිබේ.


ශ්‍රී ලංකාව සහ ලාඕසය මලයාසියාවේදී මුණගැසෙන විට ලාඕසය වඩාත් ප්‍රබල තත්ත්වයක පසුවූයේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 175 වැනි ස්ථානයේ රැඳෙමිනි. ශ්‍රී ලංකාව පසුවූයේ එහිදී 193 වැනි ස්ථානයේය. මෙම තරගාවලියේ මූලික වටයේ තවත් තරගයකට ශ්‍රී ලංකාව ලබන ඉරිදා (6) මොංගෝලියාවට එරෙහිව සහභාගිවීමට නියමිතය.


තරගයේ පළමු භාගය නිලකුණු තත්ත්වයක් මැද අවසන් කිරීමට දෙපිලම සමත්වුවත් දෙවැනි භාගයේ 57 වැනි විනාඩියේදී හා 82 වැනි විනාඩියේදී ගෝල දෙකක්ම වාර්තා කරමින් තරගාවලියේ ඉදිරියට යාමට ලාඕසය සමත් විය. කෙසේ වුවත් ලාඕසයට ශ්‍රී ලංකාව තරගයේ පරාජය වීම තුළ තරගාවලියේ ඉදිරියට යාමට නම් අනිද්දා තරගය අනිවාර්යෙන්ම ජය ගැනීමේ අභියෝගයට ශ්‍රී ලංකාව මුහුණදී සිටියි.


ඊයේ තරගය පිළිබඳව ‘ලංකාදීප’යට ‘කූමින්ග්’ ‘නෙගරි සර්වාක්’ ක්‍රීඩාංගණයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ඩඞ්ලි ස්ටෙන්වෝල් මහතා අවසන් මොහොතේ සිය ක්‍රීඩකයන් දැක්වූ දස්කම් පිළිබඳව වඩාත් සතුටට පත්වන බව පැවසීය.


“අපේ ක්‍රීඩකයන් පිළිබඳව මට වඩාත් සතුටු වෙන්න පුළුවන්. ඒ වුණත් ලාඕසය කණ්ඩායම ලබාගත් පළමු ගෝලය වැළැක්වීමට අපොහොසත්වීම ගැන මම කනස්සල්ලට පත් වෙනවා. මොකද ඒ ගෝලය අපට වළක්වාගන්න තිබුණු ගෝලයක්”


“අපි  කූමින්ග් නුවරට ඇවිල්ලා සූදානම් කර ගෙන තිබූ පුහුණු සැළැස්මට යම් යම් බාධා එල්ල වුණා. අපට පුහුණුවීම් සඳහා ලැබුණු ක්‍රීඩාංගණයත් වැස්ස හේතුවෙන් සතුටුදායක මට්ටමක තිබුණේ නෑ”


“කොහොම වුණත් අපි අනිද්දා මොංගෝලියාව එක්ක තරගය දිනලා තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් අත්හැර ගෙන නැහැ” යයිද ස්ටෙන්වෝල් මහතා වැඩිදුරටත් පැවසීය.


මොන්ගෝලියාව අවසන් වරට ශ්‍රී ලංකාවට වසර 2013 දී මුණගැසුණු අවස්ථාවේදී ඔවුන් ගෝල 3-0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. පසුගිය  ඔක්තෝබර් 9 වැනිදා නොම්පෙන් නගරයේදී පැවැති සුහද තරගයකදී ශ්‍රී ලංකාව කාම්බෝජය හමුවේ ගෝල 4-0 කින් පරාජය විය. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ  කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා වන සුජාන් පෙරේරාය.


තරගයේ කැපී පෙණුනුම සිදුවීම වූයේ දෙපිලේ කිසිදු ක්‍රීඩකයෙකු විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කඞ්පත නොලැබීමය. සෞදි අරාබි ජාතික පුහුණුකරු තාලිඕ මොහොමඞ් මහතා තරගය විනිශ්චය  කළේය.


මේ අතර තහනම් උත්තේජක සම්බන්ධයෙන් ආසියානු පාපන්දු සමුළුව අනුගමනය කරන දැඩි පිළිවෙත හමුවේ තරගයෙන් පසුව දෙපිලේ කි්‍රීඩකයන් දෙදෙනකුගේ බැගින් මුත්‍රා  නියැදි ලබාගැනීමට කටයුතු කර තිබුණි.


අදහස් (0)

ශ්‍රී ලංකාවට ගෝල 2-1 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.