Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශ්‍රී ලංකාවට 2-0 ක පරාජයක්

ශ්‍රී ලංකාවට 2-0 ක පරාජයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නීතියෙන් පිට ක්‍රීඩා කිරීමෙන් මොන්ගෝලියාවට වන්දි ගෙවූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ආසියානු සමුළුව සහයෝගිතා පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ අපේක්ෂා ඊයේ (6) බිඳගැනීමට සිදුවිය. ඊයේ රාත්‍රීයේ මලයාසියාවේ කූමින්ග් නුවර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 2-0 කට මොන්ගෝලියාව හමුවේ පරාජය විය.

මෙම තරගයේ විශේෂ සිදුවීම වූයේ එම ගෝල දෙකම ශ්‍රී ලංකා කණ්ඩායමේ නීති විරෝධී ක්‍රීඩාව හේතුවෙන් ප්‍රතිවාදීන්ට පිරිනැමුණු දඬුවම් පහර දෙකකින් ලබාගැනීමය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් රකින්නා වූ නායක සුජාන් පෙරේරා පරාජය කරමින් එහිදී දඬුවම් පහර දෙකම සාර්ථක කර ගනිමින් මොන්ගෝලියාව ජය මාවත කරා ගෙන ගියේ ඔවුන්ගේ ඉදිරි පෙළ ක්‍රීඩක නරන් බෝල්ඞ් ඔසාර් විසිනි.

ප්‍රතිවාදී ක්‍රීඩකයන් පන්දුව දැල ආසන්නයට රැගෙන එද්දී නායක සුජාන් පෙරේරා ඉදිරියට දිවගොස් ඔවුන්ට නීති විරෝධී අයුරින් බාධා කිරීම නිසා මොංගෝලියාව තරගයේ 65 වැනි විනාඩියේදී සිය දෙවැනි ගෝලය වාර්තා කළේය. මේ අතර දෙවැනි භාගය ආරම්භ වී විනාඩි කීපයක් යාමට මත්තෙන් 49 වැනි විනාඩියේදී මොන්ගෝලියානු කණ්ඩායමට පිරිනැමුණු දඬුවම් පහර දැල ඉහළින්ම ඇතුළට යොමු කරමින් ඔවුන් දෙවැනි භාගයේ තරගය සිතට ගත් බවක් පෙනුණි.

මෙම තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම ලාඕසය සමග කළ තරගය මෙන් පළමු භාගය ප්‍රතිවාදීන් ආක්‍රමණය කරමින් ක්‍රීඩා කළ අතර එහිදී ඔවුන්ට ගෝල අවස්ථා හතරක් මගහැරී ගියේ අවාසනාව කියාපාමිනි.

කෙසේ වුවත් තරගයේ දෙවැනි භාගයේදී ළඟ ළඟම ක්‍රීඩකයන් තිදෙනකුම ආදේශ කිරීමට ශ්‍රී ලංකා පුහුණුකරු ඩඞ්ලි ස්ටෙන්වෝල් මහතා කටයුතු කළේ ඇතිවෙමින් පැවැති අවාසිදායක තත්ත්වය යම් තරමකින් හෝ මගහැරීමට වුවත් එය සාර්ථක නොවූයේ ඒ වන විටත් මොන්ගෝලියානු ක්‍රීඩකයන් වඩාත් ආක්‍රමණකාරී රටාවකට තරගයේ යොමුවී සිටි බැවිනි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගයකදී මොන්ගෝලියාවට පරාජය වූයේ පළමු වතාවටය.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මේ වනවිට 202 වැනි ස්ථානයේ පසුවන මොන්ගෝලියාව ශ්‍රේණිගත කිරීම් අනුව 193 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් විය. එහෙත් වසර 2013 දී මොන්ගෝලියානුවන් මුණගැසුනු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ගෝල 3-0 ක ජයක් ලැබීය.

තරගයේ පරාජයෙන් පසුව ලංකාදීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ඩඞ්ලි ස්ටෙන්වෝල් මහතා පැවැසුවේ ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳගෙන නොමැති බවත් ය.

ලබන බදාදා (9) මැකාවෝ රාජ්‍යයට එරෙහිව තරගය ජය ගැනීමේ උත්සාහය ශ්‍රී ලංකාව අත්හැර නොමැති බවත් මේ වනවිට ශ්‍රී ලංකාව තරග වදින මූලික වටයේ “බී” කාණ්ඩයේ කණ්ඩායම් අතර ඉතා තියුණු තරගයක් පවතින බැවින් ඒ පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි නිරීක්ෂණයෙන් පසුවන බවත් ඔහු එහි දී පැවැසීය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවට මූලික වටයේ අවසානයට මුණගැසෙන මැකාවෝ රාජ්‍යය ඊයේ පැවැති තරගයකදී ලාඕසයට එරෙහිව ගෝල 4-1 ක අනපේක්ෂිත ජයක් ලබා ශ්‍රී ලංකාවට මුහුණදීමේ හොඳ සූදානමක පසු වේ.

රටවල් හතක් තරග වදින මෙම තරගාවලියේ “බී” කාණ්ඩයේ මැකාවෝ රාජ්‍යය සහභාගි වූ තරග දෙකම ජය ලබා එහි පෙරමුණේ පසු වේ. මේ වනවිට එහි කිසිදු ප්‍රසාද ලකුණක් ලබා නොමැත්තේ ශ්‍රී ලංකාවය.

ලබන බදාදා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට ගන්නා උත්සාහයට පෙර තරගාවලියේ කිසිදු ජයග්‍රහණයක් ලබා නොගත් කණ්ඩායම යන අවමානයෙන් ගැලවීමට මැකාවෝ තරගය ජය ගැනීම වඩාත් වැදගත් වේ.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් දෙදෙනකු විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඞ් පත ලැබීය. ලාඕස තරගයට ක්‍රීඩා කළ මධුෂාන් සිල්වා හා රොෂාන් සුනිල් වෙනුවට ඊයේ තරගයට සුභාෂ් මධුෂාන් හා සර්වාන් ජොහාර් කැඳවා තිබුණි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට 2-0 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.