Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශ්‍රී ලංකාව - ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව සටනට

ශ්‍රී ලංකාව - ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව සටනට

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාවේ ”ත‍්‍රිවෙන්ද්‍රම්” නුවරදී දැන් පැවැත්වෙන එකොළොස් වැනි සාෆ් පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර අවසන් පූර්ව තරගය අනිද්දා (31) පස්වරු 6.30ට පැවැත්වේ. ”බී” කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගයේදී මාල දිවයින ගෝල 4-1 කින් පරාජයට පත් කිරීමට ඇෆ්ගනිස්ථානය ඊයේ (28) සමත් වීමත් සමග දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට මුණගැසෙන ප‍්‍රතිවාදියා බවට ඇෆ්ගනිස්ථානය පත් විය.

මෙවර තරගාවලියෙත් මේ වනවිට ප‍්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටින ඇෆ්ගනිස්ථානය ගියවර තරගාවලියේ ශූරතාව දිනා ගත් කණ්ඩායමයි. ඒ අනුව මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අනිද්දා පැවැත්වීමට නියමිතව ඇත්තේ පස්වරු 3.30 ටය. ඒ ඉන්දියාව හා මාලදිවයින අතරය.

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාවට අවසන් වරට මුණ ගැසුණු 2011 තරගාවලියේදී ගෝල 3-1 ක් ලෙසටත්, නැවත 2013 තරගාවලියේදීත් ගෝල 3-1 ක් ලෙසටත් ශී‍්‍ර ලංක පිල පරාජයට පත්ව තිබේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව වසර හයකට පසුව මෙවර තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිස සිටින්නේ මූලික වටයේදී නේපාලය ගෝල 1-0 ක් ලෙස පරාජයට පත් කිරීමට සමත්වීමෙනි. මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ සෙසු එකම තරගයේදී ඉන්දියාවට ගෝල 2-0 ක් ලෙස පරාජයට පත් විය.

ඊයේ තරගයේ මූලික වටය නිමාවට පත්වූ අතර, ඊයේ පැවැති මූලික තරගයකදි බංගලාදේශය විසින් භූතානය ගොල් 3-0 කින් පරාජයට පත් කරන ලදී.

මූලික වටයේදී ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව සහභාගි වූ, සියලූ තරග ජය ගනිමින් අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටිති. භූතානය සහභාගි වූ මූලික වටයේ සියලූ තරග පරාජයට පත්වූ අතර, ප‍්‍රතිවාදින්ට එරෙහිව කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

එහෙත් ඔවුන්ට එරෙහිව ප‍්‍රතිවාදින් රැස් කර තිබෙන ගෝල ගණන නවයකි. ශ්‍රී ලංකාව එකම අවස්ථාවකදී පමණක් සාෆ් පාපන්දු කුසලාන දිනා ගෙන තිබෙන අතර, ඒ සම්පත් පෙරේරාගේ නායකත්වයෙන් 1995 දීය.

සම්පත් පෙරේරා මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. පාකිස්තානය මෙවර තරගාවලියට සහභාගි නොවීමෙන් ශ්‍රී ලංකාව මූලික වටයේදි තරග වැදුණු ”ඒ” කාණ්ඩයේ කණ්ඩායම් ගණන 3 කට සිමා විය.

●●●

 


අදහස් (1)

ශ්‍රී ලංකාව - ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.