Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner ශ්‍රී ලංකා පිල මොන්ගෝලියාව හමුවට

ශ්‍රී ලංකා පිල මොන්ගෝලියාව හමුවට

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සමුළු සහයෝගිතා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවේ තව දුරටත් රැඳීම තීරණය කෙරෙන මොන්ගෝලියාවට එරෙහිව තරගය ඉරිදා (6) කූමින්ග් නුවර “නීගරී සරවාන්” ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එය මලයාසියානු වේලාවෙන් රාත්‍රි 7.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට) තරගය ආරම්භවීමට නියමිතය.

මෙම තරගයේ විසඳුම ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක එකක් බවට පත්ව ඇත්තේ මෙම තරගය ජයග්‍රහණය කළහොත් පමණක් ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව හිමිව තිබෙන බැවිනි.

තරගාවලියේ මූලික වටයේ සිය පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව ගෝල 2-1 ක් ලෙස ලාඕසයට පරාජයට පත්වීමෙන් මේ වනවිට ලබා තිබෙන වඩාත් අවාසිදායක තත්ත්වය හමුවේ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව ඉරිදා මොන්ගෝලියාව අනිවාර්යයෙන්ම පරාජයට පත් කිරිමේ අභියෝගයට මුහුණදී සිටියි.

කෙසේ වුවත් මොන්ගෝලියාව මේ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටින කණ්ඩායමකි. ඔවුන් මේ වනවිට එහි පසුවන්නේ 202 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත ස්ථානය 193 ය.

ඉරිදා තරගය පිළිබඳ ලංකාදීපයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ඩඞ්ලි ස්ටෙන්වෝල් මහතා සංඛ්‍යා ලේඛන හෝ දත්ත සටහන් පදනම් කර ගනිමින් කණ්ඩායමක් පිළිබඳව නිගමනවලට එළඹිය නොහැකි බව පැවැසීය.

“ජාත්‍යන්තර පාපන්දු තරගයකදී එහෙම කණ්ඩායමක් පිළිබඳව තක්සේරුවකට එන්න අමාරුයි. එම තරග අවස්ථාවේදී දෙපිලේ හැසිරිම මුළුමණින්ම වෙනස් විය හැකියි. ඒ නිසා තරගයක් කණපිට හැරෙන්නත් පුළුවන්.

ඒ නිසා හැම ජාත්‍යන්තර පාපන්දු තරගයක්ම අපට එක ලෙසට වැදගත්” යයිද ස්ටෙන්වෝල් මහතා වැඩිදුරටත් පැවැසීය.

අවසන් වරට මොංගෝලියාව (2013 වසරේ පැවැති තරගයකදී මුණ ගැසුණු අවස්ථාවේදී) ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාව යටත්ව තිබේ. එසේම ජාත්‍යන්තර පාපන්දු තරග ඉතිහාසයේ මෙතෙක් ඔවුන්ට එරෙහිව පරාජයට පත්ව නොසිටීමද කැපී පෙනේ.

“කූමින්ග්” නුවරදී ආරම්භ වූ ආසියානු සමුළු සහයෝගිතා පාපන්දු තරගාවලියේ මූලික වටයේ මෙතෙක් පැවැති සෙසු තරගවලදී බෲනායි රාජ්‍යය විසින් ටිමෝරයද (4-0) මැකාවෝ රාජ්‍යය විසින් මොංගෝලියාව ද (2-1) පරාජයට පත් කරන ලදී.

ශ්‍රී ලංකාව හා මොංගෝලියාව මූලික වටයේ පළමු තරගයෙන් පරාජයට පත්ව තිබෙන බැවින් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඇතිව ඉතා තියුණු තරගයකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම වසරේ ජනවාරියේ ඉන්දියාවේ “ත්‍රිවන්ද්‍රම්” නුවරදී නේපාලය පරාජයට පත් කිරීමෙන් (1-0) පසුව (සාක් පාපන්දු තරගාවලිය) මෙතෙක් ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී නොමැත.

පසුගිය වසර 10 ක පමණ කාලය තුළදී ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාපන්දු තරග 48 කට සහභාගිවී ඉන් 10ක් ජයගෙන තිබේ. පහක් ජය පරාජයෙන් තොරව අවසන්වී තිබෙන අතර සෙසු තරග පරාජයට පත්ව තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල මොන්ගෝලියාව හමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.