Last Update  :  2024-05-10 11:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner රොනාල්ඩෝ තනිවම පෘතුගාලය බේරාගනී

රොනාල්ඩෝ තනිවම පෘතුගාලය බේරාගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයට එක්වන විශිෂ්ටතම දස්කමක් පෙන්නුම් කළ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ අවසන් මොහොතේ විස්මිත නිදහස් පහරකින් වාර්තා කළ ගෝලය නිසා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්පාඤ්ඤය සමග පැවැති තරගය ගෝල 3-3 කින් සමකර ගැනීමට පෘතුගාලය සමත්විය.

තරගයේ 88 වැනි මිනිත්තුව වනවිටත් ගෝල් 3-2 කින් පෙරමුණ ගෙන ස්පාඤ්ඤය ජයග්‍රහණයේ එළිපත්තේ සිටි නමුත් ස්පාඤ්ඤයේම රියල් මැඞ්රිඞ් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන මේ ඉදිරිපෙළ ක්‍රීඩකයා ගෝල් රකින ඬේවිඞ් ඩි ජියා අන්දමන්ද කරමින්  ගැසූ නිදහස් පහරකින් තරගයේ සිය තුන්වැනි ගෝලයත් වාර්තා කිරීමත් සමග සොචී හී ෆිෂ්ට් ඔලිම්පික් ස්ටේඩියම් ක්‍රීඩාංගණයේ රොනල්ඩෝගේ හැර වෙන නමක් ඇසුණේම නැත.

මේ වන විට 33 වැනි වියේ සිටින පෘතුගාල නායකයා ඊයේ ගෝල් ත්‍රිත්වය වාර්තා කිරීමත් සමග ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ගෝල් ත්‍රිත්වයක් වාර්තා කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්විය. එපමණක් නොව පිට පිට ලෝක කුසලාන තරගාවලි හතරක ගෝල වාර්තා කිරීමට සමත්වූ සිවුවැනි ක්‍රීඩකයා ලෙසත් රොනල්ඩෝ වාර්තා පොතට ගියේය.

ඊට පෙර ජර්මනියේ මිරොස්ලොව් ක්ලෝස් සහ උවේ සීලර් සමග බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක පේලේ මේ වාර්තාවට හිමිකම්  කීහ. මීට අමතරව එක දිගට ප්‍රධාන පෙලේ තරගාවලි 8 ක ගෝල වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසත් රොනල්ඩෝ ඉතිහාසගත විය.

තරගයේ සිවුවැනි මිනිත්තුවේදීම ස්පාඤ්ඤයේ නැචෝ විසින් නීතිවිරෝධී බාධා කිරීමක් කළ බවට උපක්‍රමශීලිව විනිසුරුවරයා රවටා දඬුවම් පහරක් පිරිනමන තත්ත්වයට ඔහු පොළඹවා ගත් රොනල්ඩෝ එය සාර්ථකව එල්ල කරමින් පෘතුගාලය ගෝල 1-0 කින් ඉදිරියට ගෙන ගියේය.

ඊට මිනිත්තු විස්සකට පසුව ඩියාගෝ කොස්තා පුදුමාකාර ගෝලයක් වාර්තා කරමින් ගෝල 1-1 කින් තරගය සමකරගැනීමට සමත්විය. පළමු භාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී (44 වැනි මිනිත්තුවේ) ස්පාඤ්ඤ ගෝල් රකින්නාගේ දුර්වල ක්‍රීඩා විලාසය හමුවේ සිය දෙවැනි ගෝලයත්  වාර්තා කරමින් සිය කණ්ඩායමට ගෝල 2-1 කින් පෙරමුණ ගෙන දීමට රොනාල්ඩෝ සමත් විය.

රොනල්ඩෝගේ අදහාගත නොහැකි පෙරළිකාර දස්කම් නිසා තරගය අතිශය උණුසුම් මුහුණුවරක් ගත්තත් ස්පාඤ්ඤය සටන අත් හැරියේ නැත. දෙවැනි භාගයේ මිනිත්තු දහයක් පසුවෙද්දී (55 වැනි මිනිත්තුවේ) සිය දෙවැනි ගෝලයත් වාර්තා කළ කෝස්තා තරගය නැවතත් ගෝල් 2-2 කින් සමකර ගත්තේය.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී ස්පාඤ්ඤයේ කළමනාකර පුහුණුකරු ජුලෙන් ලොපෙටෙගුයි තනතුරෙන් නෙරපා දැමීමට එරට පාපන්දු සංගමය පියවරගැනීමෙන් දැඩි කැළඹීමට පත්ව සිටියත් ඊයේ ඔවුන් දැක්වූ දස්කම් පෘතුගාලය අපේක්ෂා නොකළ එකකි.

ස්පාඤ්ඤ කණ්ඩායම සමග අවුරුදු දෙකකට ගිවිසුම්ගතව සිටි 51 හැවිරිදි ලොපෙටෙගුයි තනතුරෙන් නෙරපීමට පියවර ගෙන ඇත්තේ ඔහු කාටත් හොර රහසේම රියල් මැඞ්රිඞ් පිල සමග වසර තුනක ගිවිසුමකට එකඟවීම නිසාය. කෙසේවුවත් මේ පළහිලව්ව නිසා රුසියාවේ සිටින ස්පාඤ්ඤ කණ්ඩායම දැඩි කළකිරීමකට  පත්ව සිටි අතර ඊයේ තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී කණ්ඩායමේ නායක සර්ජියෝ රාමෝස් කියා සිටියේ මේ මාධ්‍ය හමුව ඔහුට දැනෙන්නේ අවමංගල සභාවක් ලෙස යැයි කියා සිටීමෙන් සිය පුහුණුකරු නෙරපා දැමීමෙන් ඔවුන් කෙතරම් වේදනාවට පත්වී සිටින්නේදැයි යන්න ගැන පැහැදිලි නිදසුනකි.

ඒ සියල්ල මැද තාවකාලික පුහුණුකරු ෆර්නැන්ඩෝ හයිරෝ සමග ඊයේ සිය පළමු තරගයට එක්වූ ස්පාඤ්ඤය ගෝල් 2-2 කින් තරගය සමකරගැනීමෙන් පසුව සුපුරුදු දස්කම් අතරට පැමිණීයේය. එයින් මිනිත්තු හතරකට පසුව නැචෝ එල්ල කළ අපූරු ගෝලයකින් තරගයේ පෙරමුණ ගත්තේ 3-2 කිනි.

ඉන් පසුව තවත් පැය භාගයක්ම පෙරමුණ රැක ගනිමින් ජයග්‍රහණයේ සිහිනය කරා යමින් සිටි ස්පාඤ්ඤයේ බලාපොරොත්තු බිඳ දමා තරගය සමසමව කෙළවර කරගැනීමට රොනල්ඩෝ සමත්වූයේ ඉන් පසුවය.


- 077

 


අදහස් (0)

රොනාල්ඩෝ තනිවම පෘතුගාලය බේරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.