Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner රංජිත් රුද්‍රිගුට එරෙහි විනය පරීක්‍ෂණය නවතී

රංජිත් රුද්‍රිගුට එරෙහි විනය පරීක්‍ෂණය නවතී

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පාපන්දු සම්මේලනයේ මාධ්‍ය කමිටුවේ සභාපති ධුරය දැරූ  රංජිත් රුද්‍රිගු  මහතාට එරෙහිව කැඳවා තිබූ විනය පරික්ෂණ අත්හැර දැමූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි. පාපන්දු සම්මේලනයේ මූල්‍ය කමිටුවේත් සභාපති ධුරයේත් කටයුතු කරන රංජිත් රුද්‍රිගු මහතාට එරෙහිව කැඳවා තිබූ විනය පරික්ෂණය අත්හැර දැමුවේ පාපන්දු සම්මේලනයේ නිලවරණය කැඳවීමට තවත් ඉතිරිව ඇත්තේ මාස කීපයක් පමණක් නිසා බවත් අනුර ද සිල්වා මහතා පැවසීය.

විධායක කමිටුවේ නිලධාරියෙකුට එරෙහිව එවැනි කාල වකවානුවක විනය පරික්ෂණයක් කැඳවීමට සුදුසු නොවන බවට එහිදී විධායක සභාව තීරණය කළ බවත් ඒ පිළිබඳව ඔහු වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පැවැසීය.

“අපි රංජිත් රුදි්‍රගු මහතාට කියන්නෙ පාපන්දු නිලවරණයට ඉදිරිපත් වෙන අයෙකු හැටියට ඊට ඉදිරිපත් වන සෙසු අපේක්ෂකයන්ට අසාධාරණයක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුයි කියලයි” යයිද අනුර ද සිල්වා මහතා පැවසිය.

කෙසේ වුවත් පසුගිය නොවැම්බර් 12 වැනිදායින් පසුව පළමු වරට රැස්වූ පාපන්දු සම්මේලනයේ විධායක සභාව ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයාද වන රංජිත් රුද්‍රිගු මහතාට එරෙහිව විනය පරික්ෂණයක් කැඳවීමට කර තිබූ යෝජනාව ඉදිරිපත්වීමත් සමගය. පාපන්දු විධායක සභාවේ 29 දෙනාගෙන් 21  දෙනෙක් පෙරේදා විධායක සභා රැස්වීමට සහභාගි වී සිටියහ. රංජිත් රුද්‍රිගු මහතාට එරෙහිව විනය පරික්ෂණය යෝජනාවීමත් සමග විධායක සභාව ගාලගෝට්ටියක ස්වභාවයක් ගත් බව වාර්තා වේ.

එම විනය පරික්ෂණයට පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් ඉදිරිපත්වීමත් සමගය. කෙසේ වුවත් විධායක සභිකයන් 13 දෙනෙකු එම අවස්ථාවේදී රංජිත් රුද්‍රිගු මහතාට පක්ෂව අදහස් දක්වා තිබෙන අතර තවත් කීප දෙනෙකු එහිදී මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී තිබේ.

 මෙම යෝජනාව ගෙන ආ පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට සහයෝගය දක්වමින් එහිදී තවත් විධායක සභිකයන් කීප දෙනකු අදහස් දක්වා තිබේ. මෙම දෙපක්ෂයේ අදහස් දැක්වීම වඩාත් උණුසුම්කාරී තත්ත්වයකට පත්වීමත් සමග විනය පරික්ෂණය සම්බන්ධයෙන් එතෙක් පැවැති කතාබහ නිගමනයකින් තොරව අවසන් වූ බවද වාර්තා වේ.

රංජිත් රුද්‍රිගු මහතාට එරෙහිව කැඳවා තිබූ මෙම විනය පරික්ෂණයට හේතු වූයේ අනුර ද සිල්වා මහතා එතෙක් දරමින් සිටි බව කියන අන්තර්ජාතික පාපන්දු සමුළුවේ අනුකමිටු සභික ධුරයෙන් ඔහු ඉවත් කළ බවට රුද්‍රිගු මහතා මාධ්‍යවලට කළ බව කියන ප්‍රකාශයකි. රංජිත් රුද්‍රිගු මහතා හා අනුර ද  සිල්වා මහතා අතර උද්ගත වූ මෙම අර්බුදය පාපන්දු ක්ෂේත්‍රයේ අවධානය දිනා ගත්තේ ඔවුන් දෙදෙනාම මීලඟ පාපන්දු සම්මේලන නිලවරණයේදී සභාපති ධුරයට තරග වදින බවට කර තිබෙන ප්‍රකාශත් සමගය.

 

 

 


අදහස් (0)

රංජිත් රුද්‍රිගුට එරෙහි විනය පරීක්‍ෂණය නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.