Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව football_inner මෙසීට බාර්සිලෝනාවේ සහයෝගය

මෙසීට බාර්සිලෝනාවේ සහයෝගය

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික පාපන්දු පිටියේ සුපිරි තරුවක් ලෙසත්, ක්‍රීඩා ලෝකයේ ධනවතුන් අතර ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයකු ලෙසත් වැජඹීමට තරම් වාසනාවන්තයකු වූ ආජන්ටිනාවේ ලයනල් මෙසී එක අතකින් බැලූ විට ඒ තරමටම අවාසනාවන්තයෙකි. පාපන්දු පිටියේ කෙතරම් හපනකු වූවත් ඔහුට කිසිදිනෙක ආජන්ටිනාවට කුසලානයක් අත්කර දීමට නොහැකිවිය.


පසුගියදා නිමාවට පත්වූ කෝපා අමෙරිකා තරගාවලියේදිත් ඔහුට සිදුවූයේ ඒ ටිකමය. අන්තිමේ දී ක්‍රීඩාවෙන් ද සමුගන්නා බව නිවේදනය කළද එහි උණුසුම මැකීයාමටත් පෙර හෙණ ගෙඩියක් මෙන් කඩා පහත්වූයේ ආදායම් බදු වංචා කිරීමේ චෝදනාවකි.


ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුවූ මෙසීගේ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් උසාවිය නිකුත් කළ නිවේදනයට අනුව නම් මෙසීට ස්පාඤ්ඤයේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා සිය සිර දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරිමේ හැකියාව තිබේ.


කෙසේවෙතත් ස්පාඤ්ඤයේ නීතියට අනුව වසර දෙකකට අඩු සිර දඬුවමක් ලබන ආදායම් බදු වංචාකරුවන්ට සිරගෙට නොගොස් පරිවාස කාලයක් ලෙස එය ගත කළ හැකිය. ඉන් කියැවෙන්නේ මාස 21ක සිර දඬුවමකට ලක්වීම නිසා මෙසීටත්, ඔහුගේ පියාටත් යාන්තම් සිරගත නොවී ගැලවීමට වාසනාව තිබේ යන්නයි.


ස්පාඤ්ඤයේ උසාවියකින් මෙසීලාට මෙවැනි තීන්දුවක් අත්වූවත් බාසිලෝනා ක්‍රීඩා සමාජය තම සුපිරි ක්‍රීඩකයා තනි නොකිරිමට වග බලාගත්තේ මෙසී අපරාධකරුවකු නොවන බවට නිවේදනයක් ද නිකුත් කරමිනි.


ස්පාඤඤ උසාවිය මෙසී කොටු කරගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ අද ඊයෙක නොව මීට වසර තුනකට පෙර එනම් 2013 වසරේදීය. එවර බාසිලෝනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටියදී පළමුවරට ආදායම් බදු වංචා කිරීමේ චෝදනාව එල්ලවූයේ මෙසීට නොව ඔහුගේ පියාටය.


වසර 2007 දී සහ 2009 දී යුරෝ මිලියන 4.1 ක බදු වංචාවක් කොට ඇතැයි මෙසීගේ පියාට එල්ලවූ චෝදනාව කාලයක් පුරා තරමක් මන්දගාමීව ගලා ගියත් පසුව 2014 දී  පැමිණිලි පාර්ශවය මෙසීටත් නඩු පැවරීමෙන් පසුව ඊට සෑහෙන තරමේ මාධ්‍ය අවධානයක් යොමුවිය.


නඩු විභාගය අතරතුර මෙසී උසාවිය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය මූල්‍යමය කටයුතු කළමනාකරණය සම්බන්ධව කිසිවක් නොදන්නා බවය.


“මම පාපන්දු ක්‍රීඩාවේ යෙදෙනවා පමණයි. මුදල් ගැන මම දන්නෙ නෑ” ඔහු එසේ කීවේය.


28 හැවිරිදි මෙසී වැඩි දුරටත් කියා සිටියේ තමා සියලු ලියකියවිලි සඳහා අස්සන තැබුවේ ඒවා කියැවීමකින් තොරව බවය. එය පුදුම වන්නට කාරණාවක්ද නොවේ. මක්නිසාද යත් ලයනල්ගේ සියලුම කටයුතු කළේ ඔහුගේ පියා වන හොරේෂියෝ බැවිනි.

 

මිනිත්තු 15 කටත් අඩු කාලයක්ින් සිය කතාව නිමා කළ මෙසී කීවේ සිය පියා ඒවා පාලනය කළ බැවිින් තමාට කිසිදු අවිශ්වාසයක් නොතිබූ බවකි. මෙසීගේ ප්‍රතිරූපය විකිණීමෙන් හා ගිවිසුම්ගත වීමෙන් ඔහුගේ පියා විසින් බැන්කෝ සබාඩෙල්, ඩැනොන්, අඩිඩාස්, පෙප්සි කෝලා. ප්‍රොක්ටර් ඇන්ඞ් ගැම්බල්, සහ කුවේට් ආහාර සමාගම වැනි ආයතනවලින් උපයනු ලැබූ මුදල් සම්බන්ධ ලිපි කියැවීමට මෙසී මිනිත්තුවක් හෝ ගත නොකළ බැව් ඔවුන්ගේ නීතිඥවරු උසාවියට කීහ.

 


අදහස් (0)

මෙසීට බාර්සිලෝනාවේ සහයෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.